Thursday, September 19, 2024

General line - 0115112241

මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස්ට එල්ල වූ ප්‍රහාරය ගැන අලුත් තොරතුරු හෙළිවෙයි




මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ඊබ‍්‍රහම් අන්සාර්ට සහ එරට බෞද්ධ විහාරස්ථානයකට කෙරුණු ප‍්‍රහාරයන්ට හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එරටදී කෙරුණු උද්ඝෝෂණ සඳහා සහභාගි වූ කිසිවෙකු ශ‍්‍රී ලංකාවේ සම්භවයක් සහිත අය නොවන බව තහවුරු වී තිබෙනවා.

බුද්ධි අංශ වෙත වාර්තා වී ඇති පරිදි ඔවුන් සියලු දෙනා දකුණු ඉන්දියාවේ සිට මැලේසියාවට ගිය අයයි.

මෙම පිරිස තවමත් එල්.ටී.ටී.ඊ. මතය නියෝජනය කරන බවද බුද්ධි අංශ වෙත වාර්තා වී තිබෙනවා. මැලේසියාවේ පීනෑග් ප‍්‍රාන්තයේ කි‍්‍රයාත්මක සීරෝ තර්ටිසික්ස් නමැති පාතාල කල්ලියක් ද අදාළ ප‍්‍රහාරවලට සහාය වී ඇති බවයි මීට පෙර අනාවරණ වුණේ.

පීනෑග් ප‍්‍රාන්තයේ නියෝජ්‍ය මහඇමති ආචාර්ය රාමසාමි ද දකුණු ඉන්දීය සම්භවයක් සහිත සහ මැලේසියාවට පසුව සංක‍්‍රමණය වූ අයෙක්.

ඔහු ඉගෙනුම ලබා තිබෙන්නේ ද ඉන්දීය විශ්ව විද්‍යාලයකින් බව අනාවරණ වී තිබෙනවා. එල්.ටී.ටී.ඊයට පක්ෂව අදහස් පළ වූ ග්ලෝබල් ටැමිල් ෆෝරම් හි රැස්වීම්වලට ද ඔහු සහභාගි වී තිබෙන බවයි බුද්ධි අංශ වෙත වාර්තා වී තිබෙන්නේ.

මේ අතර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ආචාර්ය රාමසාමි පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මැලේසියාවේ පැවති ජාත්‍යන්තර සම්මේලනයකට ආරාධනා කිරීමෙන් මැලේසියානු ආණ්ඩුව වරදක් කර ඇති බවයි.

මැලේසියානු ආණ්ඩුව කටයුතු කර ඇත්තේ දෙමළ ජනතාවගේ අපේක්ෂාවන්ට එරෙහිව බවද මෙම සටහනෙහි දැක්වෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද අපරාධකරුවෙකු ලෙසයි ආචාර්ය රාමසාමි අර්ථ දක්වා ඇත්තේ. මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ඊබ‍්‍රහීම් අන්සාර්ට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් ද සිය ෆේස්බුක් සටහන මගින් ආචාර්ය රාමසාමි නිදහසට කරුණු දක්වා තිබෙනවා.

ඔහු පවසන්නේ දෙමළ තරුණයින් පිරිසක් මහකොමසාරිස්වරයා වෙත ගොස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටින ස්ථානය පිළිබඳ විමසා ඇති බවයි.

ශ‍්‍රී ලංකාවෙන් එල්.ටී.ටී.ඊය තුරන් කළා සේම මැලේසියාවේ සිටින කොටි ද අතුගා දමන බව මහකොමසාරිස්වරයා එහිදී ප‍්‍රකාශ කර ඇතැයි ද කිසියම් සිද්ධියක් ඇති වී තිබෙන්නේ ඒ අනුව බවද මෙම සටහනේ දැක්වෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව උද්ඝෝෂණය කළ සියලු දෙනා සාමාන්‍ය දෙමළ වැසියන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

img_0343 img_0344

unnamed-3

unnamed-2