Tuesday, April 16, 2024

General line - 0115112241

ඇසක් නැති වූ බව කියන ආබාධිත රණවිරුවා වෙනුවෙන් මානව හිමිකම් පැමිණිල්ලක්




උද්ඝෝෂණයක් අතරවාරයේ පොලිසිය සිදු කළ පහරදීමකින් ඇසක් අන්ධ වූ බව කියන ආබාධිත රණවිරුවා වෙනුවෙන් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කරන බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා.

එහි කැඳවුම්කරු විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න සඳහන් කළේ අදාළ රණවිරුවාගේ ඇසට ප්‍රතිකාර කිරීමට වහා රජය මැදිහත් විය යුතු බවයි.

සේවා කාලය වසර 12 ක් සම්පූර්ණ නොකළ ආබාධිත රණවිරුවන්ට විශ‍්‍රාම වැටුප් ඉල්ලා අදාළ උද්ඝෝෂණය සිදු කෙරුණා. ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා.

ඇසක් අන්ධ වූ බව කියන රණවිරුවාගේ බිරිඳ ද ඉකුත් දා මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූවා. එහිදී ඇය සඳහන් කළේ සිය දරුවන් තිදෙනාම තවමත් පාසල් යන වියේ පසුවන බවයි. දරුවන්ගේ දෛනික වැඩකටයුතු ස්වාමියා විසින් හැකි පරිදි සිදු කළ බවත් මෙම අනතුරත් සමග සිය පවුල තවතවත් පීඩාවට පත්ව ඇති බවත් සඳහන් කළා.

අදාළ රණවිරුවා මේ වනවිට කොළඹ අක්ෂි රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. මේ අතර පොලිසිය සිදු කළ බව කියන පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත් දා කියා සිටියේ.