Friday, April 19, 2024

General line - 0115112241

දකුණු කොරියානු ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක්




දකුණු කොරියානු ජනාධිපති පාර්ක් ගූන් හේට එරෙහිව එරට පාර්ලිමේන්තුව විසින් දෝෂාභියෝගයක් සම්මත කරගෙන තිබෙනවා.

ඇයට එරෙහි චෝදනාව වුණේ සිය සමීප හිතවතියකට රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට සහ බලය අයුතු ලෙස යොදා ගැනීමට අවස්ථාව ලබාදීමයි.

අද පැවති ඡන්ද විමසීමේ දී දෝෂාභියෝගයට පක්ෂව ඡුන්ද 234 ක් ලැබී ඇති අතර විපක්ෂව ඡුන්ද 56 ක් පමණක් ලැබී තිබෙනවා.

ඒ අනුව පාලක සෙනුරී පක්ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන්ද දෝෂාභියෝගයට පක්ෂව ඡුන්දය ලබාදී ඇතැයි පෙනී යන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ජනාධිපති පාර්ක් ගූන් හේ දකුණු කොරියාවේ රාජ්‍ය නායක ධුරයට ඡුන්දයෙන් තේරීපත් වූ පළමු කාන්තාව ද වනවා.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අවස්ථා දෙකක දී ඇය ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටි අතර ඉල්ලා අස්වීමට වුවද සූදානම් බවයි වරක් ඇය ප‍්‍රකාශ කළේ.

දෝෂාභියෝගය සම්මත වීමත් සමග පාර්කි ගූන් හේ තවදුරටත් ජනාධිපති ධුරය හෙබවීම තාවකාලිකව අත්හිටවෙනවා.

ඇගේ බලතල පැවරෙනු ඇත්තේ අග‍්‍රාමාත්‍යවරයාටයි. කෙසේ වෙතත් ජනාධිපති ධුරයෙවන් පාර්කි ගූන් හේ අවසානාත්මක වශයෙන් පහ කිරීමට නම් දෝෂාභියෝගයෙන් නගා ඇති චෝදනා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ද අනුමත කළ යුතු වනවා.

නව දෙනෙකුගෙන් යුත් විනිසුරු මණ්ඩලයක් විසින් එම චෝදනා විභාග කරනු ඇති.