Sunday, May 19, 2024

General line - 0115112241

දුරකථන සහ පෞද්ගලික රෝහල් ගාස්තු සංශෝධනයක්




දුරකථන ගාස්තු සහ පෞද්ගලික රෝහල්වල දී සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණ සඳහා අය කෙරෙන ගාස්තු සංශෝධනය කෙරෙන චක‍්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව රජය පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වැට් බදු සංශෝධනය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමගම අදාළ ගාස්තු ද සංශෝධනය විය යුතු බවයි.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර වැට් බදු සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත ලබන 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේ වැට් සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) තවත් පෙත්සමක් ගොනු කර ඇති බැවින් මෙම තීරණය ගත් බවයි.

අදාළ පෙත්සම ගොනු කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා විසින්.

අදාළ පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරු පෙන්වා දී තිබෙනවා.

එම නිසා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවයි එහි දැක්වෙන්නේ.