Thursday, September 19, 2024

General line - 0115112241

මින්පසු පවුල් සැළසුම් නෑ - දඹුල්ල රෝහල කියයි




දඹුල්ල මූලික රෝහලේදී දරු ප‍්‍රසූතිය සිදු කරන මව්වරුන්ට උපත් පාලන ක‍්‍රම අනුගමනය කරන ලෙස බලකරන සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අද (08) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ මෙම පවුල් සැළසුම් සැත්කම් ගැබිණි මාතාවන්ගේ එකඟත්වය මත සිදු කලාද යන්න සොයා බලන බවයි.  

පවුල් සැළසුම් ක‍්‍රම බලහත්කාරයෙන් සිදු කිරීමට අපහසු බවද ඔහු සඳහන් කළා. 

මේ අතර දරු ප‍්‍රසූතියෙන් අනතුරුව පැය 48 කින් පසු පළඳවන පසු-ප‍්‍රසව ලූපය පැළඳවීම තාවකාලිකව අත්හිටවූ බව දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය  අධිකාරි චාල්ස් නුගවෙල අද පැවසුවා.

දඹුල්ල ප‍්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවලින් පසු රෝහල් බලධාරීන් මෙම තීරණයට එළඹුණා.

කෙසේ වෙතත් අදාළ මව්වරුන්ගේ ලිඛිත කැමැත්ත මත පමණක් පවුල් සැළසුම් ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය  අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.