Thursday, September 19, 2024

General line - 0115112241

බස් ධාවනයට වෙනම මංතීරුවක් - පෞද්ගලික රියදුරන්ට අලුත් මාර්ග සළකුණක්




කොළඹ නගරයේ අධික රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් බස් රථ ධාවනය සඳහා වෙනම මංතීරුවක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවා.

මේ සඳහා වන නියමු ව්‍යාපෘතිය මාර්තු 12 වැනිදා සිට රාජගිරිය මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා මාර්ගයේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

අද (8) බත්තරමුල්ල සුහුරුපායේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

සිංගප්පූරුව, කොරියාව වැනි රටවල දැනටමත් ක්‍රියාත්මක මෙම ක්‍රමය මගින් පොදු මගී ප්‍රවාහනය සඳහා ප්‍රමුඛතාවය ලබාදීම අරමුණයි.

මාර්ගයේ ඉඩකඩ කාර්යක්ෂම කරමින් සෑම අයකුගේම කාලය ඉතිරි කිරීම මෙහි තවත් අරමුණක්. දැනට රාජගිරිය සිට ආයුර්වේද මංසන්ධිය දක්වා පමණක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු දුර්වලතා හඳුනාගෙන කොළඹ නගරයේ සෙසු මාර්ග සඳහා ද එම ප්‍රමුඛතා මංතීරු හඳුන්වාදීමට නියමිතයි.

මේ අතර පෞද්ගලික වාහන හැරවීමේදී බස් රථ ධාවනය සඳහා වෙන් කර ඇති මංතීරුව භාවිතා කළ හැක්කේද නිසි ක්‍රමවේදයකට අනුවයි.

ඒ අනුව අදාළ රූප රාමුවේ දක්වා ඇති පරිදි පෞද්ගලික මෝටර් රථයක් වමට හැරවීමට අදාළ වන මාර්ග සළකුණක් ඇති ස්ථානයේ සිට රථය බස්රථ ධාවනය කරන මංතීරුව වෙත පිවිසිය හැකි අතර එහි සිට මීටර් 50 ක් පමණ ඉදිරියට ධාවනය කර අනිවාර්යයෙන් හැරවීම සිදු කළ යුතුයි.

පහත සඳහන් රූපය අනුව බස් රථ ධාවනය කළ හැකි වන්නේ කොළ පැහැති තීරුවේ පමණයි. අනෙක් වර්ණයන්ගෙන් දක්වා ඇති තීරුවල පෞද්ගලික වාහන ධාවනය කළ හැකියි.