සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් තමන් ඉවත් කර වෙනත් අයෙකු පත් කිරිමේ උත්සාහයක් ඉදිරියේදී ක්‍රියාත්මක වෙනු ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවා.
ඔහු පෙන්වා දෙන්නේ ඖෂධ හා දුම්කොළ සමාගම් ඉදිරියේ දී එළෙස උත්සාහ කරනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත සිදු කෙරෙන ව්‍යාපෘතියක් ලෙස බෝ නොවන රෝග වැළැක්වීමේ අරමුණින් කායවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩසටහන ඊයේ (11) ආරම්භ කෙරුණා.
කළුතර දිස්ත්‍රික්කයේ පයාගල රාජිත සේනාරත්න ක්‍රිඩාංගණයේ සහ මග්ගොන ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද කායවර්ධන මධ්‍යස්ථාන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. එක් කායවර්ධන මධ්‍යස්ථානයක් සදහා රුපියල් මිලියන 20 ක උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී තිබෙනවා.
උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
"බෝ නොවන රෝග ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයම මුහුණ දී ඇති ප්‍රබලම අභියෝගයක්. ශ්‍රී ලංකාවේ රෝහල්වලට ඇතුලත් කරන රෝගීන්ගෙන් සියයට 70 ක් මිය යන්නේ බෝ නොවන රෝගවලින්. ඊට හේතු ලෙස දුම්බීම, මධ්‍යසාර භාවිතය, ලුණු, සීනි සහ මේදය අඩංගු ආහාර බහුල ලෙස ආහාරයට ගැනීම බව හෙළි වී තිඛෙනවා. දුම්බීම අවම කිරිම සඳහා දුම්කොළ සමාගම්වලින් සියයට 90 ක් බදු අයකර ගැනීමට රජය පසුගියදා කටයුතු කළා. ඊට විවිධ බලපෑම් එල්ල වුනා. දුම්කොළ සමාගමෙන් රජයට වාර්ෂිකව ලැඛෙන බදු මුදල වන්නේ රුපියල් බිලියන 100 ක්. ඊට වඩා වැඩි මුදලක් රෝග බෝවීමෙන් පසු එම රෝග සුව කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්රයට වැය කිරීමට සිදු වනවා. දුම්බීමෙන් පමණක් වසරකට ලෝකය පුරා පුද්ගලයින් මිලියන 30 ක් මියයනවා. ශ්‍රී ලංකාවේ දුම්බීමෙන් සහ මධ්‍යසාර පානයෙන් වසරකට 35,000 ක් මිය යනවා. ඔවුන් අතර සියයට 05 ක් දරුවන් ද සිටිනවා. ලබන සතියේ දී තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරීමේ අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කරනවා. එය සම්මත වූ පසු සිගරට් පැකට් පමණයි වෙළෙදසැල්වල විකිණිය හැක්කේ. සීනි භාවිතය අවම කිරීම සඳහා පැණි බීමවලට වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දුන්නා. බහුජාතික සමාගමක් එම වැඩපිළිවෙලෙන් පසු සීනි සියයට 10 ක් අඩුවෙන් පැණි බීම හැදීමට සුදානම් වී සිටිනවා. රසකැවිලි නිෂ්පාදකයින්ටත් එම නීතිය ගෙනඒමට මම සුදානම්. සීනි, තෙල් සහ ලුණු අඩංගු අහාර ශරීරයට අහිතකරයි. මුදල් ලබා දී හදාගන්නා රෝග සුව කරන්න ඊට වඩා මුදලක් වැය කිරීමට රජයට සිදු වෙනවා. සුවනාරි සහ සුවදිවි මධ්‍යස්ථාන දිවයින පුරා පිහිටුවා ජනතාවගේ රෝග පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඉදිරියේ දී පවුලේ වෛද්‍යවරයා සංකල්පය ලංකාවට හදුන්වා දෙනවා. එක් වෛද්‍යවරයෙකුට 5000 ක ජනතාවක් ලියාපදිංචි කර පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටයි මම බලාපොරොත්තු වන්නේ. බෝ නොවන රෝග වසර 2020 වනවිට සියයට 05 කින් අඩු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.”
" සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් මාව ඉවත් කර වෙනත් අයෙකු පත් කර ගැනීමට දුම්කොළ සමාගම සහ ඖෂධ සමාගම් ඉදිරියේ දී උත්සාහ කරන්න පුළුවන්. ඒ සඳහා මුදල් වැය කරයි. විවිද චෝදනා ඉදිරිපත් කරයි. ඒකාබද්ධ විපක්ෂයත් භාවිත කරයි. ඇතැම් විට ජනතා විමුක්ති පෙරමුණ පවා භාවිත කරන්න ඔවුන් උත්සාහ කරයි. රජය හදන එකට වඩා පවත්වාගෙන යාම තමයි අමාරු. ලෙනින් පවා ඒ බව ප්‍රකාශ කර තිඛෙනවා. රජය ආරක්ෂා කිරීමට මම කැපවී සිටිනවා.”