Tuesday, May 21, 2024

General line - 0115112241

හෙද සේවාවේ පුරප්පාඩු හයදහසක්




හෙද හෙදියන්ගේ සංඛ්‍යාව පනස්දහසකින් වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. 

හෙද සේවාව සඳහා රජය අනුමත කර ඇති තනතුරු සංඛ්‍යාව තිස්හත්දහස් අටසිය හැත්තෑ පහක්. 

එහෙත් දැනට සිටින්නේ තිස් එක් දහස් තුන්සිය පනස් හතරක හෙද හෙදියන් සංඛ්‍යාවක් පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ. 

ඔහු මෙම කරුණු අනාවරණ කළේ අරලියගහ මන්දිරයේ අද පැවති හෙද හෙදියන් එක්දහස් තුන්සිය දෙනෙකුට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ උත්සවයකට එක් වෙමින්. 

මේ වනවිට හෙද සේවාවේ පුරප්පාඩු හයදහසක් ඇති  බැවින් හෙද ස්ථාන මාරුවීම් ක‍්‍රියාත්මක කිරිමට නොහැකි වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. 

මේ හේතුවෙන් හෙද උපාධිය ලබා දීමටත් හෙද උපාධිධාරින් සඳහා වෙනම වැටුප් තලයක් නිර්මාණය කිරීමටත් රජයේ අවධානය යොමුව තිබෙනවා. 

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ශ‍්‍රී ලාංකේය ජනතාවට ලබා දීමේ අරමුණ ඇතිව නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේ.