රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෘත දේහයේ කොටස් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බව නීතිපතිවරයා අද (07) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගතහොත් ඇපමත මුදා හරින ලෙස ඉල්ලමින් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර කළ ඉල්ලීමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණා.
එය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් අද කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඉරාන් රත්නායක අධිකරණයට මේ බව දැනුම් දුන්නා.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණය අවසන් වී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා.
එම පරීක්ෂණය මගින් අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට එල්ල වූ ඇතැම් චෝදනාවන්ට ඔහු වරදකරු කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවත් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.
අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙහිදී කියාසිටියේ සිය සේවාදායකයා මේ වනවිට හෘද සැත්කමකට භාජනය කර ඇති බවයි.
එබැවින් මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි මෙහිදී එම නීතිඥවරයා ඉල්ලා සිටියේ.