Monday, September 23, 2024

General line - 0115112241

ජනපති වෙබ් අඩවිය හැක් කළ දෙදෙනා මුදා හැරේ!




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල  වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  චෝදනා ලැබ සිටින පාසල් සිසුවාට  සහ 27 හැවිරිදි තරුණයා එම නඩුවෙන් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද නියෝග කළා.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරුණු ලැබුවේ සැකකරුවන් දෙදෙනාට එරෙහිව ඉදිරියට නීතිමය පියවර නොගන්නා බවට නීතිපතිවරයා අධිකරනයට දැනුම් දීමෙන් අනතුරුවය.

ඒ අනුව පාසැල් සිසුවා සහ අනෙක් තරුණයා නඩුවෙන් මුදාහැරීමට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරනයට දැන්විය. සැකකරුවන් සන්තකයෙන් ලබා ගන්නා ලද ලප්ටොප් පරිගණකය ඇතුළු භාණ්ඩ ඔවුන්ට මුදාහැරීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම ක්‍රියාව සිදු කිරීමේ කිසිදු අපරාධමය චේතනාවක් තම සේවාදායකයාට නොතිබුණු බවට කඩුගන්නවේ පදිංචි 17 හැවිරිදි පාසැල් සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරනයට මීට පෙර දන්වා තිබුණා.

පරිගණක අපරාධ පනතේ 3,4,5 වගන්ති යටතේ සැකකරුවන්ට චොදනා එල්ල කර තිබුනා.