Tuesday, September 24, 2024

General line - 0115112241

විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්




පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් එම ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි වාර්තා වනවා. 

ඊට විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානියෙකු සහ රජයට සම්බන්ධ තවත් ප්‍රධානීන් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ. 

එම්.ආර් ලතීෆ් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බැවින් ඔහු අණදෙන නිලධාරී ධුරයෙන් ඉවත් කර වෙනත් අයෙකු ඊට පත් කිරීමටයි ඔවුන් සූදානම් වන්නේ. 

කෙසේවෙතත් නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක සහ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ අදහස වී ඇත්තේ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියා ලෙස තවදුරටත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් කටයුතු කළ යුතු බවයි. 

පොලිස් විශේෂ කාර්ය බලකාය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ්ගේ නායකත්වයෙන් සහ උපදෙස් යටතේ ඉකුත් සමයේදි වැටලීම් රැසක් සිදුකළා. 

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම නීතිවිරෝධී ජාවාරම්කරුවන් රැසක්ද නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිඛෙනවා. 

ඒ යටතේ වැලි, පස් සහ මහා පරිමාණ මැණික් ජාවාරම්කරුවන්ද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. 

එම ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන ඇතැම් නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන බවයි වාර්තා වුණේ.