Wednesday, September 25, 2024

General line - 0115112241

හිටපු ජනපති මහින්දගේ බිරිඳ සහ දරුවන් එක පෙළට කැඳවයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ හෙට (15) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

පෙරවරු 9.30ට ඇයට පැමිණෙන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

ඒ, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි.

තාජුඩීන් ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් ශිරන්ති රාජපක්ෂගේ ආරක්ෂකයින්ට අයත් ඩිෆෙන්ඩර් රථයක් ඊට යොදාගෙන ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

එම ඩිෆෙන්ඩර් රථය රතු කුරුස සංවිධානය විසින් සිරිලිය පදනමට ලබාදුන් එකක්. එහෙත් තාජුඩීන් ඝාතනයෙන් පසු සුදු පැහැති එම ඩිෆෙන්ඩර් රථය කිසිඳු හේතුවකින් තොරව කළු පැහැ ගන්වා ඇති බවයි පැවසෙන්නේ.

මීට අමතරව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ ද අනිද්දා (16) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඔහුද කැඳවා ඇත්තේ තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ තවත් පුත්‍රයෙකු වන රෝහිත රාජපක්ෂ ද FCID හමුවට ද අනිද්දා දිනයේදී කැඳවීමටයි නියෝග කර ඇත්තේ.

ඒ, ඔහුගේ ද මැදිහත්වීම මත අභ්‍යවකාශ ගත කළ චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි.