Friday, September 27, 2024

General line - 0115112241

රණවිරුවන්ට අත තැබීමට ජාත්‍යන්තරයට ඉඩ දෙන්නේ නෑ -  නිදහස් පක්ෂ සමුළුවේදී ජනපති කියූ දේ (PHOTOS) - (UPDATE)




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සමුළුව බොරැල්ල කැම්බල් පිටියේ දී අද (03) සාර්ථකව පැවැත්වුණා. 

ඒ, පක්ෂ සභාපති හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. 

සමුළුව සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු අග‍්‍රාමාත්‍ය දී මූ ජයරත්න ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්ව සිටියා. 

දිවයිනේ නන් දෙසින් පැමිණි නිදහස් පක්ෂ සාමාජිකයින් කැම්බල් පිටියට පැමිණියේ පෙළපාලිවලින්. 

පසුව සර්ව ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව සමුළුව ආරම්භ කෙරුණා. රැස්ව සිටි පිරිස පිළිගත් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ඉදිරි දේශපාලන සැලසුම් පිළිබඳව පැහැදිලි කළා. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සමුළුව සඳහා දේශපාලන පක්ෂ 42ක නියෝජිතයින් එක්ව සිටියා. 

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සහ ජාතික හෙළ උරුමය ද ඒ අතරට අයත්. 

පසුව සමුළුව ඇමතූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කළේ කිසිදු හිටපු හමුදාපතිවරයෙකුට හෝ රණවිරුවෙකුට අත තැබීමට ජාත්‍යන්තරයට ඉඩ නොතබන බවයි. 

ජාත්‍යන්තරයෙන් එල්ල වූ චෝදනා සහ ඊට මුහුණදුන් ආකාරය ද ජනාධිපතිවරයා පැහැදිලි කළා. 

සියළු බලවේග ඒකරාශී කර ගනිමින් ගෙන යන ශක්තිමත් පුුළුල් දේශපාලන වැඩපිළිවෙලට එක්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ආරාධනයක් ද සිදු කළා. 

 

 

 

 

------------------------------

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවේදී යෝජනා 05ක් සම්මත කරගනී 

මේ වනවිට පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සමුළුවේදී යෝජනා 05ක් සම්මත කර ගැණුනා.

ආර්ථික යෝජනාව ඉදිරිපත් කළේ අමාත්‍ය එස්.බී දිසානායක විසින්. 

අමාත්‍ය සරත් අමුණුගම විසින් ජාත්‍යන්තර යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා. 

ආහාර නිෂ්පාදන සහ පාරිසරික යෝජනාව ඉදිරිපත් කළේ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්තයි. 

කම්කරු අයිතිවාසිකම් පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න විසින්. 

තරුණ යෝජනාව ශ‍්‍රී ලංකා තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර, සමුළුවට ඉදිරිපත් කළා. 

--------------------------------

පක්ෂය ඉදිරියට ගෙන යන රහස ඇමති දුමින්ද නිදහස් පක්ෂ සමුළුවේදී හෙලි කරයි (03-09-2017 / 14:27)

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියටම ගෙන යන බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. 

ඒ, මේ වනවිට පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන  සම්මේලනය අමතමින්. 

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී පැවැත්වෙන සියළු මැතිවරණ සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තරග වදින්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් බවයි. 

-----------------------------

නිදහස් පක්ෂ සමුළුවට එන්න ' පෙළපාලි' ඇරඹේ (PHOTOS) (03-09-2017 / 14:27)

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සමුළුව තවත් සුළු මොහොතකින් ආරම්භ වනවා.

මේ වනවිට රැළියට සහභාගිවීම සඳහා ජනතාව පෙළපාලි මගින්  කොළඹ කැම්බල් පිටියට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ වන විට නිදහස් පක්ෂයේ 66 වන සමුළුව සඳහා කැම්බල් පිටිය සම්පූර්ණයෙන්ම සූදානම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය 66 වන සම්මේලනය සංවිධාන කර තිබෙන්නේ ‘‘ජන බලය හරි අතට - සුපිරිසිදු දේශපාලනයක්’’ යන තේමාව යටතේයි.

රැළියට සහභාගිවීම සඳහා ජනතාව පෙළපාලි මගින්  කොළඹ කැම්බල් පිටියට පැමිණෙමින් සිටින ඡායාරූප පහතින් දැක්වෙනවා.

 
 

ඡායාරූප - ඩබ්ලිව්.අයි ප්‍රියංගනී

-----------------------------------

ජනතාව බලාපොරොත්තුවන ප්‍රශ්න අද වේදිකාවේ දිගහැරේ (03-09-2017 / 05:50)

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සමුළුව අද (03) පැවැත්වෙනවා. ඒ, කොළඹ කැම්බල් පිටියේදීයි.

ඒ පිළිබඳ කරුණු දක්වන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ අද පස්වරු 1.30 පමණ වන විට සංවත්සරය ආරම්භ කිරීමට කටයුතු කරන බවයි. මේ වන විට කැම්බල් පිටිය සම්පූර්ණයෙන්ම සූදානම් කර ඇති බවත් මෙවර සංවත්සරය ශ්‍රීලනිපයේ අති සාර්ථකම සමුළුව වනු ඇති බවත් සඳහන් කළා. 

මෙම සම්මේලන රැස්වීම සඳහා ඉහළ ජන සහභාගීත්වයක් ලැබෙනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය 66 වන සම්මේලනය සංවිධාන කර තිබෙන්නේ ‘‘ජන බලය හරි අතට - සුපිරිසිදු දේශපාලනයක්’’ යන තේමාව යටතේයි.

සම්මේලනය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ද අදහස් දැක්වූවා.

එහිදී ඔහු සඳහන් කළේ ජනතාව බලාපොරොත්තුවන ප්‍රශ්න පිළිබඳව අද වේදිකාවේදී කතා කෙරෙන බවත් ඒවා අනුව යෝජනාවන් සකස් වෙන බවයි. විශේෂයෙන් අද දිනයේ මෙම වැඩසටහනට සහභාගී වන පිරිසට මත්පැන් පානයද තහනම් කර ඇති බවත් පැවසුවා.