Friday, September 27, 2024

General line - 0115112241

ජනපතිගේ තීරණය එනතෙක් කොමිෂන් සභාව බලාසිටී




බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රදාස, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය දීර්ඝ කරනවාද? නැද්ද? යන්න අද (04) තීරණය කිරීමට නියමිතයි.

ඒ, එහි කාලය ඊයේ (03) දිනයෙන් අවසන් වීමත් සමගයි. නෙත් නිවුස් කළ විමසීමක දී එහි ලේකම් එච්. ඩබ්ලිව්. ගුණදාස ප‍්‍රකාශ කළේ කොමිෂමේ නිල කාලය තවත් මාස 06කින් දීර්ඝ කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි. 

මෙම කොමිෂම ආරම්භ කළේ 2015 වසරේ අගෝස්තු මාසයේයි. පැමිණිලි භාර ගැනීම 2016 වසරේ මාර්තු 24 වැනිදායින් අවසන් කෙරුණා.

එම කාලයේ දී ලැබුණු පැමිණිලි සංඛ්‍යාව දෙදහසකට අධිකයි. ඉන් මෙම කොමිෂමේ විෂය පථයට අදාළ පැමිණිලි 400ක් තෝරාගත් බවයි ලේකම්වරයා කියා සිටියේ.

විමර්ශන අවසන් කර ඇති පැමිණිලි සංඛ්‍යාව 17ක්. ඒවායේ අවසන් විමර්ශන වාර්තා ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. අවසන් වාර්තා සකස් නොකළ එහෙත් විමර්ශන අවසන් කළ තවත් පැමිණිලි 17ක් තිබෙන බවයි ඔහු සඳහන් කළේ. ඒවායේ වාර්තා සකස් කර අවසන් කිරීමට නියමිතව ඇත්තේ ඉදිරි මාස 06ක කාලය තුළයි. 

මහා පරිමාණ දූෂණ පිළිබඳ පැමිණිලි දෙකක් ද කොමිෂම සතුව පවතිනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දිස්ත‍්‍රික්ක මට්ටමින් සිදු කළ ජල ව්‍යාපෘතිවල දී ඇති වූ අක‍්‍රමිකතා ඉන් එකක්. ශ‍්‍රී ලංකන් එයාර්ලයින් ආයතනයේ අක‍්‍රමිකතා පිළිබඳ ලද පෙත්සම අනෙකයි.

එම පෙත්සම් 02 සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට ද තවත් කාලය අවශ්‍ය බවයි කොමිෂමේ ලේකම් එච්. ඩබ්ලිව්. ගුණදාස පැවසුවේ. බොහෝ දුරට අද දිනය තුළ ජනාධිපතිවරයාගේ තීරණය ප‍්‍රකාශයට පත් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 
මෙම කොමිෂම ආරම්භ කිරීමෙන් පසු එහි කාලය මීට පෙර ද දීර්ඝ කෙරුණා.