Friday, September 27, 2024

General line - 0115112241

යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහිකිරීමට අනුරාධපුරයෙන් තැනක්! ආණ්ඩුව සහය දෙද්දී විරෝධතා නැගෙයි




යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහිකිරීම සඳහා නිශ්චිත ස්ථානයක් සහ දිනයක් ප‍්‍රකාශයට පත්කරන ලෙස ඊයේ (08) පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ගෙනආවේ ඊ.පී.ඞී.පී. නායක ඩග්ලස් දේවානන්දයි. එම යෝජනාවට විරුද්ධත්වයක් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියාසිටියේ එවැනි ස්මාරකයක් ඉදිකිරීමට අනුරාධපුර ප‍්‍රදේශය සුදුසු බවයි.

යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහිකිරීමට නිශ්චිත ස්ථානයක් සහ දිනයක් ප‍්‍රකාශ පත්කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය විරෝධය පළකරනවා. එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා පැවසුවේ මෙවැනි තීරණ තුළින් ජාතීන් අතර සංහිඳයාවට බාධා එල්ල විය හැකි බවයි. එම ස්ථාන සම්බන්ධයෙන් ද ගැටලූ මතුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා වැඩිදුරටත් පෙන්වා දුන්නා. 

<

යුද්ධයෙන් මියගිය පිරිස් සාමූහිකව සැමරීම සඳහා ඉඩ ලබානොදිය යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි නියෝජ්‍ය ලේකම්, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් පැවසුවේ එවැනි සැමරුමකට ඉඩ ලබාදීම ඇතැම් පාර්ශ්වවල සැඟවුණු අරමුණු ඉටුකරගැනීමට ඉඩ සැලසීමක් විය හැකි බවයි. යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සැමරීමට වෙනම දිනයක් සහ ස්ථානයක් ලබාදෙන ලෙස ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා. 

උතුරේ දේශපාලනඥයන් වර්තමානයේ කි‍්‍රයාකරන ආකාරය අනුව මෙවැනි තීරණයක් ගැනීමේදී වඩාත් විමසිලිමත් විය යුතු බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් වැඩිදුරටත් පෙන්වා දුන්නා.