Thursday, May 2, 2024

General line - 0115112241

ගීතාගෙන් ගැලවුණු පුටුවට මීළඟට එන්නේ කවුද?

හේමන්ත කහවලගේ




ගීතා කුමාරසිංහට මන්තී‍්‍ර ධුරය දැරීමට නුසුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමග එම ධුරය ගාල්ල දිස්ති‍්‍රක්කයේ මනාප ලැයිස්තුවේ පාර්ලිමේන්තුවට තේරි පත් නොවූ අපේක්‍ෂකයින් අතරින් වැඩිම මනාප ලැබූ අපේක්‍ෂකයාට හිමිවීමට නියමිතයි.

2015 වසරේ පැවති මහමැතිවරණයේදී ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරීපත් වූ මන්තී‍්‍රවරු සංඛ්‍යාව 6 ක්.

ගීතා කුමාරසිංහ පසුවුයේ එහි පස්වැන්නා ලෙසයි. ඇයට පසුව වැඩිම මනාප ලබාගත් මොහාන් ද සිල්වා ද පාර්ලිමේන්තුවට තේරිපත් වුණා. ඔහු හිමිකරගත් මනාප සංඛ්‍යාව පනස් තුන්දහස් හැත්තෑ හයක්.

2015 මහමැතිවරණයට අනුව ගාල්ල දිස්ති‍්‍රක්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ හත්වැන්නා ලෙසට මනාප ලබාගත්තේ හිටපු අමාත්‍ය පියසේන ගමගේයි.

ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව හතලිස් හත්දහස් දෙසිය හතලිස් අටක්. ඒ අනුව ගීතා කුමාරසිංහට මන්තී‍්‍ර ධුරය අහිමිවීමත් සමග එම ධුරය හිටපු අමාත්‍ය පියසේන ගමගේට හිමිවනු ඇති. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්වුවත් ගීතා කුමාරසිංහ කටයුතු කළේ ඒකාබද්ධ විපක්‍ෂය සමග එක්වයි. ඒ අනුව ඇයගේ මන්තී‍්‍ර ධුරය අහිමිවීමත් සමග ඒකාබද්ධ විපක්‍ෂයට මන්ත‍්‍රීවරියක් අහිමි වනවා. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරිපත් වී ඒකාබද්ධ විපක්‍ෂයට සහාය පළ කරන මන්තී‍්‍රවරු සංඛ්‍යාව 55 ක්. ගීතා කුමාරසිංහගේ මන්තී‍්‍ර ධුරය අහිමිවීමත් සමග එම සංඛ්‍යාව 54 ක් දක්වා අඩු වනවා.

හිටපු අමාත්‍ය පියසේන ගමගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර ඔහු පාර්ලිමේන්තුවට තේරිපත්වීමත් සමග ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව ඉහළ යනු ඇති.

වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 41 ක්. පියසේන ගමගේ පාර්ලිමේන්තුවට එක්වීමත් සමග එම සංඛ්‍යාව 42 දක්වා ඉහළ යනවා.