Thursday, May 2, 2024

General line - 0115112241

ඝාතකයා නාඳුනන වෙඩික්කරුවකු බව කියූ “තරුණයාගේ මරණයට“ සැක පිට STF යතුරු පැදියක් සහ ත්‍රී රෝද රියක් අත්අඩංගුවට!

දිනසේන රතුගමගේ




යාපනයේ අරියාලේ මනියතෝට්ටම් ප්‍රදේශයේදී පසුගිය ඔක්තෝබර් 22 දා, යාපනයේ පදිංචි විසි හතර හැවිරිදි දොන් බොස්කෝ නැමති ධීවර තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි ත්‍රී රෝද රථය හා යතුරු පැදිය එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිස් කණ්ඩායම විසින් සොයාගෙන තිබෙනවා. තරුණයාට වෙඩිතබන ලද ගිණි අවියද සොයා ගත් බව පොලීස් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

මේ අපරාධයට සම්බන්ධ යතුරු පැදිය හා ත්‍රී රෝද රථය සොයාගැනීමට හැකි වූයේ වෙඩි තැබීම සිදු වූ ස්ථානයට නුදුරින් පිහිටි නිවසක තිබූ සී.සී.ටී.වී කැමරා දර්ශන පෙළක් රහස් පොලීසියට විසින් පරීක්ෂා කිරීමේදීය. අත්අඩංගුවට පත් ත්‍රී රෝද රථයේ හා යතුරු පැදියේ අංක වලට අනුව එම වාහන දෙක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලියාපදිංචි වාහන දෙකක බවත්,එම වාහන පොලිස් විශේෂ කාර්ය බලකායේ භාවිතයට ලබා දී ඇති බවත් හෙළිව තිබෙනවා. වාහන දෙක මෙලෙස පොලීසිය බාරයට ගෙන ඇතත් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැත.

වෙඩි තැබීමෙන් යාපනයේ පදිංචි විසි හතර හැවිරිදි දොන් බොස්කෝ නැමති අය මියගියේ, අරියාලේ මාර්ගයේ ගමන් කරමින් සිටින අතරතුරදීය.යාපනයේ අරියාලේ වැසියෝ එම අවස්ථාවේදීම මෙම වෙඩි තැබීම සිදු කළේ පොලිස් නිලධාරීන් බව කියමින් පොලීසියට එරෙහිව කෑකෝ ගසමින් විරෝධය පල කළා. මෙම තරුණයාට වෙඩි තැබීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලීසියේ විශේෂ කණ්ඩායම තවදුරටත් පරීක්ෂණ සිදු කරගෙන යනවා.