Thursday, May 2, 2024

General line - 0115112241

ගීතාගේ සමුගැනීමෙන් පසු 'පත්වෙන්නට පෙර' පියසේන ගමගේ ඇමතිවරු කරන කෙනහෙළිකම් ගැන කතා කරයි 

නිමල් අල්ගෙවත්ත - හබරාදුව




පසුගිය මැතිවරණයේ දී මනාප ඡන්ද 63955 ක් ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ 05 වන ස්ථානය දිනාගත් ගීතා කුමාරසිංහට සිය පාර්ලිමේන්තු අසුන අහිමි වීමත් සමග  පසුගිය මහ මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ  හත්වන ස්ථානය දිනා ගත් හිටපු ඇමති පියසේන ගමගේට   එයින් හිස් වන පාර්ලිමේන්තු අසුන හිමිවීමට නියමිතව තිබෙනවා.


පසුගිය මහ මැතිවරණයේ දී ඡන්ද 47248 ක් ලබා ගනිමින් ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ හත් වන ස්ථානයට පත්වුණා.

නැවතත් පාර්ලිමේන්තු යාමට අවස්ථාවක් ලැබී ඇති ඔහු, අද ඇමතිකම් අරගෙන ඉන්න අයත් තමන්ට  කෙනෙහිලිකම් කළ බව මාධ්‍ය වෙත කියා සිටියා.

"රටේ නීතිය   නිසි පරිදි ක්‍රියාත්මක වෙලා මට සාධාරණයක් ඉටු වුණා. දැන් ඉතින් පාර්ලිමේන්තු යන්න වෙනවා නේ. ගිහින් අපේ ජනතාවට සේවයක් කිරීම අරමුණයි. ඇමතිකමක් ලැබුණොත් කරනවා. 

නමුත් මම කවදාවත් පස්සෙන් ගිහින් ඇමති කම් ඉල්ලලා නෑ.  වසර 17 යු.එන්.පී පාලනය නැති කරන්න දකුණේ ප්‍රමුඛ තාවය ගත්තේ රිචඩ්, දොඩංගොඩ ට පස්සේ මම.  මම පස්සෙන් ගිහින් ඇමතිකම් ඉල්ලුවේ නෑ. එහෙම කරන මිනිස්සු නෙවේ අපි.  දුන්න දේ කරගෙන මම හිටියා. දුන්න ඇමති කමේ ගාල්ලට රටට වැඩ කරා. ඒ වගේම ඉතින් මේ සැරෙත් ඇමතිකමක් ලැබුනොත් හොඳට වැඩ කරනවා.

අපේ ඡන්ද දායකයා වැඩ කළාට ඡන්දේ දෙන අය නෙවේ. පසුගිය මැතිවරණය වෙලාවේ ආපු රැල්ලට මම හසුවුණා. මම මිනිස්සුන්ට දොස් කියන්නේ නෑ. ඔය දැන් යහපාලනයට එකතුවෙලා ඉන්න අයත් එදා කිව්වේ පනින පියසේනට දෙන්න එපා කියලා. තව අය එකතු වෙලා මට වට කරලා ගැහුවා. ගැහුවා විතරක් නෙවේ මාව සමුල ඝාතනය කළා. ඇත්තටම එදා වුන දේ ගැන මට තියෙන්නේ කණගාටුවක්. අද ඇමතිකම් අරගෙන ඉන්න අයත් මට කෙනෙහිලි කම් කළා.

ඔය සියළු දේ ට අහුවුණ  මම පැරදුනා. පස්සේ තමයි මිනිස්සුන්ට තේරුණේ හිනිදුමට මන්ත්‍රී කෙනෙක් නෑ කියලා. එතකොට පරක්කු වැඩියි.  දැන් යළිත් සාධාරණය ඉෂ්ඨ වෙලා තියනවා."