Monday, April 29, 2024

General line - 0115112241

පුනරුත්ථාපනය වු එල්ටීටීඊ පිරිසක් මැතිවරණයට.. බලාපොරොත්තුව ප්‍රභාකරන්ගේ සිහිනය සැබෑ කිරිමලු

වසන්ත පිවිතුරු




පුනරුත්ථාපනයට පත්වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් එකතු වී නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබෙනවා.

ඒ එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර භාරව සිටි නායකයෙකු වූ අන්බු හෙවත් ඉන්බරාසාගේ නායකත්වයෙන්.

පුනරුත්ථාපනය ලැබු දෙමළ කොටි විමුක්ති පක්ෂය ලෙස එම පක්ෂය නම් කර තිබෙනවා.

මෙම නමින් පක්ෂය ලියාපදිංචි කිරිමට තමන් බියෙන් සිටි නමුත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය එය පිළිගෙන ඇති බවයි පක්ෂයේ නායකයා කියා සිටියේ.

පසුගියදා එම පක්ෂයේ නායකයා ඇතුලු පිරිස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවූ බවත් පක්ෂයේ නම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කළ බවත් ඊට කිසිඳු විරෝධයක් මැතිවරණ කොමිසමෙන් එල්ල නොවු බවත් ඔහු කියා සිටියා.

කිළිනොච්චියේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පල කළා.

තමන් දැන හෝ නොදැන කොටි ලේබලයට හිමිකම් කියු බැවින් සමාජය අදත් තමන් දෙස එල්ටීටීඊ මුද්‍රාව තබා ඇති බවයි ඔහු සඳහන් කළේ.

රජය විසින් පුනරුත්ථාපනය ලැබු එල්ටීටීඊ නාමය තමන්ට ලබාදී ඇති බැවින් එම ලේබලයෙන් කිසි දිනක ගැලවිය නොහැකි බවත් ඒ අනුව තමන් මෙම නම පක්ෂයට තෝරාගත් බවත් පුනරුත්ථාපනය ලැබු දෙමළ කොටි විමුක්ති පක්ෂයේ නායක ඉන්බරාසා කියා සිටියා.

එමෙන්ම මෙයට පෙර නැගෙනහිර පළාතේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ පිල්ලෙයාන් හේවත් සිවනේෂතුරයි චන්ද්‍රකාන්තන් විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරනු ලැබුවා.

එම පක්ෂය ද නම් කර තිබුණේ තමිල් මක්කල් විඩුදලයි පුලිහල් පක්ෂය (දෙමළ ජනතා විමුක්ති කොටි පක්ෂය) ලෙසයි.

එමෙන්ම එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර පළාත් අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදන් කලක් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වී සිටියා.

පසුව ඔහු විසින් නව පක්ෂයක් ආරම්භ කරනු ලැබුවා.

අන්බු හෙවත් ඉන්බරාසා, පිල්ලෙයාන් හෙවත් සිවනේෂතුරයි චන්ද්‍රකාන්තන්, කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදන් යන තිදෙනා කලක් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබලයන් වන අතර මොවුන් තිදෙනාම නැගෙනහිර පළාතේ අණදෙන නිලධාරින් වශයෙන් ක්‍රියාත්මක වූ පිරිසක් වනවා.

කෙසේ හෝ පිල්ලෙයාන්, ඝාතන නඩුවක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව ඇති අතර කරුණා අම්මාන් සහ අන්බු නැමති අය නැගෙනහිර පළාතේ සිය දේශපාලන කටයුතුවල නිරත වී සිටිනවා.

කරුණා අම්මන් හෙවත් විනායග මූර්ති මුරලිදරන් පසුගියදා නැගෙනහිර පළාතේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බවයි.

එය කැලය මාරු වුනත් කොටියගේ පුල්ලි මාරු නොවන බවට පැරණි කියමන සනාථ කරන්නක් බවයි ඇතැම් සංවිධාන පවසන්නේ.

ඒ සඳහා වූ අරගලයට තමන්ගේ පක්ෂය නායකත්වය ලබාදෙන බවයි ඔහු එහිදී කියා සිටියේ.

එමෙන්ම එහිදී කරුණා අම්මාන් කියා සිටියේ එල්ටීටිඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් තමන්ට සමාව දෙනු ඇති බවයි.

දැනට බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන්ගේ නිදහස පිළිබඳවත් ඔහු වරින් වර මතක් කර සිටියා.

කරුණා එසේ දෙමළ ඊළාම්වාදය ඉදිරියට ගෙන යද්දී හතු පිපෙනා මෙන් අන්බු හේවත් ඉන්බරාසා දේශපාලන කරළියට පිවිසෙන්නේ පුනරුත්ථාපන වූ කොටි ලේබලයෙන්.

කිළිනොච්චිය ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ පුනරුත්ථාපනය වූ 60 දෙනෙකුගෙන් යුත් පිරිසක් මුලික කරගෙන තමන් දේශපාලනයට පිවිසෙන්නේ එල්ටීටිඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ සිහිනය සැබෑ කිරිමට බවයි.

එල්ටීටිඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් ගතින් මිය ගියත් ඔවුන්ගේ සිත් තුල තවදුරටත් ජීවත් වන බවත් ඔහුගේ මාර්ගයෙන් ගමන් කරමින් දෙමළ ජනයාගේ විමුක්තිය උදා කරගන්න තමන් කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

මෙහිදි තේරුම්ගත හැකි එකම කරුණක් වන්නේ අවි ආයුධ සයනයිට් කරල යුද පිටිය සහ ජීවත් වන පරිසරය යන භෞතික සම්පත් වලින් හිටපු එල්ටීටීඊ සාමාජිකයන්  පුනරුත්ථාපනය වුවත් සිය මනසේ කොතැනක හෝ මුල්බැස ඇති ඊළාම් සිහිනයෙන් තවමත් පුනරුත්ථාපනය වී නොමැති බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඊට අමතරව අප අවදානයට ලක් කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ මෙම පිරිස ඇත්ත වශයෙන් පුනරුත්ථාපනය වී ඇති ද කියන කාරණාව සම්බන්ධයෙන්.

ඊට හේතුව වන්නේ කිළිනොච්චියේ පැවති මාධ්‍ය හමුවේ දී අන්බු හෙවත් ඉන්බරාසා කියන කතාවයි.

ලක්ෂ 6ක් වු උතුරේ ජනතාවගේ හදවත් තුල තවමත් එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් ජීවත් වන බවත් ඔහුගේ අදහස් තමන් ක්‍රියාත්මක වන බවත් ඉන්බරාසා පවසනවා.

එය සඵල වන තුරු තමන්ගේ ගමන නොනවතින බව මෙම පුද්ගලයා පැවසීම තුල කුමක් හෝ එහි ගැල්වී ඇති බව අප වටහා ගත යුතු බවයි දේශපාලන විචාරක මතය වන්නේ.

නිදහස, ප්‍රජාතන්ත්‍රවාය සම අයිතිවාසිකම් අපේක්ෂා කරන උතුරේ ඇතැම් පිරිස් කොටි මානසිකත්වයෙන් මිදෙන්නට උත්සාහ නොදරන්නේ තමන්ගේ ඊළාම් සිහිනය නිසා නොවේදැයි අපට ඇතැමුන් ප්‍රශ්න කරනවා.

ශ්‍රී ලංකා පුරවැසියෙකු වශයෙන් දේශපාලන පක්ෂයක් ආරම්භ කිරිමේ අයිතිය උතුරේ වේවා දකුණේ වේවා කාටත් සමානව තිබුණ ද ජාත්‍යන්තර වශයෙන් තහනමට ලක්ව ඇති සංවිධානයකට සම්බන්ධ නාමයක් සිය දේශපාලන පක්ෂයට යොදා ගැනීම උතුරු නැගෙනහිර පළාත්වල යළිත් බෙදුම්වාදීන් ක්‍රියාත්මක වීමේ උත්සාහයක් ද යන්න එහිදී ප්‍රශ්න කෙරෙනවා.

උතුරේ දේශපාලනඥයන් එහී පිහිටි හමුදා කඳවුරු ඉවත් කරන ලෙසත් හදිසි නීතිය යටතේ රඳවාගෙන සිටින රෑඳවියන් නිදහස් කරන ලෙසටත් ආණ්ඩුවට බල කර සිටින අතර තවත් පිරිසක් ෆෙඩරල් පාලනයක් ඉල්ලා අරගලයක නිරත වනවා.

ඊට විදේශ බලවේග ද අනුබල දෙන අතර රට දෙකඩ කිරිමට විදේශ රටවල සිටින ඩයස්පෝරා මාන බලා සිටින බවටයි ඇතැම් පාර්ශ්ව චෝදනා කරන්නේ.

එවැනි පසුබිමක බලය විමධ්‍යගත කිරිම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය සූදානම් වන අතර ඊට විවිධ පාර්ශ්වයන් විරෝධය පල කර තිබීම ද විශේෂිතයි.

මෙම අවස්ථාව උතුරේ දෙමළ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරිමට සහ බලය විමධ්‍යගත කිරිමට ඉතිහාසයේ හිමි වූ නියම අවස්ථාවක් යනුවෙන් පවසමින් උතුරු නැගෙනහිර බිහි වන නව දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ද රජය මනා අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නේ නම් එය ඉතාමත් වැදගත් කරුණක් වනු ඇති බව බොහෝ පාර්ශ්වවල අදහසයි.