Friday, May 17, 2024

General line - 0115112241

රුසියාවේ තහනම 'තේ' හැරුණුවිට තවත් අපනයන කිහිපයක් සඳහාත් බලපෑම් කරයි

ඩිල්ෂාන් මඩවල




ශී‍්‍ර ලංකාවේ වැවිලි නිෂ්පාදනවලට රුසියාව විසින් පනවා ඇති තහනම තේ හැරුණු විට ශී‍්‍ර ලංකාවේ තවත් අපනයන කිහිපයක් සඳහාද බලපෑම් ඇති කරනවා.

ඊයේ (18) සිට බලාත්මක වන පරිදි රුසියාව මෙම තහනම පනවනු ලැබුවේ ශී‍්‍ර ලංකාවෙන් අපනයනය කෙරුණු තේ තොගයක තිබී කුරුමිණියෙකු හමුවූ බව පවසමින්.

කෙසේවෙතත් ශී‍්‍ර ලංකාවෙන් තේ මෙන්ම වෙනත් වැවිලි නිෂ්පාදන මිළදී ගැනීමද රුසියාව විසින් මෙහිදි තහනම් කෙරුණා. 

මේ පිළිබඳ කළ වැඩිදුර සොයා බැලීමකදී නෙත් නිවුස් වෙත අනාවරණ වුයේ පොල් හා රබර් ආශි‍්‍රත නිෂ්පාදනද ගම්මිරිස්, කුරුඳු, කරදමුංගු. ඉගුරු, මිරිස්, ගොරකා, කොමඩු, ගස්ලබු සහ ඇතැම් එළවළු වර්ගද ශී‍්‍ර ලංකාව රුසියාවට අපනයනය කරන බවයි. 

පොල් සහ පොල් ආශි‍්‍රත නිෂ්පාදන රුසියාවට අපනයනය කිරීමෙන් 2016 වසරේදී ශී‍්‍ර ලංකාව උපයාගෙන ඇති ආදායම ආසන්න වශයෙන් රුපියල් මිලියන 730 ක්. මෙම වසරේ පළමු මාස දහයේදී ද පොල් සහ පොල් ආශි‍්‍රත නිෂ්පාදන රුසියාවට අපනයනය කිරීමෙන් ශී‍්‍ර ලංකාව රුපියල් මිලියන 726 ක් උපයාගෙන තිබෙනවා. 

රුසියාවට ගම්මිරිස් අපනයනයෙන් 2016 වසරේදී ශී‍්‍ර ලංකාව උපයාගෙන ඇති ආදායම රුපියල් මිලියන 167කට ආසන්නයි. 

මේ අතර ශී‍්‍ර ලංකාවේ තේ ඇතුළු වැවිලි නිෂ්පාදනවලට රුසියාව විසින් පනවන ලද තහනම පිළිබද ඊයේද ස්ථාන කිහිපයකදි විවිධ අදහස් පළ වුණා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පැවසුවේ මෙම තහනම තේ තොගයකින් කුරුමිණියෙක් හමුවූ නිසා පනවන ලද්දක් බවට ලඝු කිරීම නිවැරදි නොවන බවයි. ජාත්‍යන්තර දේශපාලනයේ  ඕනෑ එපාකම්ද මේ පිටුපස තිබිය හැකි බව මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලද මහනුවරදී මාධ්‍යවේදින් කළ විමසීමකට පිළිතුරු දෙමින් මේ පිළිබද අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ මෙම සිදුවීම අහඹු සිදුවීමක් බවයි. මෙම ගැටලුව සුහඳව විසඳා ගැනීමට පියවර ගෙන ඇති බවද සඳහන් කළා.

මේ අතර තේ පර්යේෂණ ආයතනය ඊයේ කියාසිටියේ අදාළ කුරුමිණි විශේෂය ශී‍්‍ර ලංකාවේ තේ කර්මාන්තය ආශි‍්‍රතව මීට පෙර කිසිදා හමුවී නොමැති බවයි. මෙම කුරුමිණියා හමුවී තිබෙන්නේ තේ තොගයේ සිට නොව තේ තොගය බහා තිබූ බහාලූමේ තිබියදී බව ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය කියාසිටියා. 

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පැවසුවේ වැඩිදුරටත් කරුණු සොයා බැලීම සඳහා ශී‍්‍ර ලංකාවේ තාක්‍ෂණික කණ්ඩායමක් ඉදිරි දින දෙක ඇතුළත රුසියාවට පිටත්ව යන බවයි.

දැනට කෙරෙන සාකච්ඡාවලින් පසු මෙම තහනම ඉවත් කිරීම සඳහා රුසියාව යහපත් ප‍්‍රතිචාරයක් දක්වනු ඇතැයි එරට ශී‍්‍ර ලංකා තානාපති සමන් වීරසිංහ පැවසුවා.

(මේ සම්බන්ධ පෙර පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න..)