Friday, May 17, 2024

General line - 0115112241

මන්ත්‍රී නිමල් ලන්සාගේ ඉවත්වීම ගැන නිදහස් පක්ෂය කියපු දේ

ළහිරු කපුගේ




පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා, නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද (19) අදහස් පළ කළා.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ පක්ෂයේ නීති රීති වලට පටහැනිව ක්‍රියා කරන පිරිස් සම්බන්යෙන් තවත් ඉවසා සිටිය නොහැකි බව පසුගියදා ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.

පක්ෂ ආරක්ෂා කර ගැනීමේ වගකීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ අවදානය යොමුව ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

නිමල් ලන්සා නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත්වන බව දන්වා ඇති බවත් ඒ සමබන්ධයෙන් කරුණු විමසුම් කළ යුත්තේ ඔහුගෙන් බවත් අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියා.

එමෙන්ම නිමල් ලන්සා නියෝජ්‍ය අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් වූවත් පක්ෂය අතැර ගොස් නොමැති බවත් අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර හමුදා මූලස්ථානය, තිබූ ස්ථානයෙන් ඉවත් කර, එම ඉඩම වෙනත් කටයුත්තක් සඳහා ලබාදීම සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබෙන බවයි අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේ.

කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිවරයා ඒ පිළිබඳ දැනුම් දී තිබෙනවා.

මෙවැනි තීරණ ගැනීමේ දී රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන් බවයි අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ.