Monday, May 13, 2024

General line - 0115112241

ව්‍යවස්ථා සභාවේ තීන්දු ගැන ජනපති සිත් කාලකිරිමෙන්




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල යම් සිත් කලකිරිමකින් පසු වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

ඒ ශ්‍රේෂාඨාධිකරණයේ විනිසුරුවරයෙකු පත් කිරිම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබු නමක් පසුගියදා අධිකරණ සේවා කොමිසම මගින් ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

මල්වාන ප්‍රදේශයේ වාසය කරන මුස්ලිම් ජාතික එම විනිසුරුවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සමීපව කටයුතු කළ අයෙකු ද වනවා.

නමුත් එම විනිසුරුවරයා පසුගිය ජනාධිපතිවරණයේ සිට මේ දක්වා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බවයි ඉරිදා ලංකාදීප පුවත්පත සඳහන් කළේ.

කෙසේ වෙතත් විධායක ජනාධිපති ධූරයේ බලතල අවම කිරිම ඇතුළුව ජනාධිපතිවරයා සතුව තිබු තවත් බලතල හා වරප්‍රසාද රාශියක් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් කප්පාදු කරනු ලැබුවා.

එමෙන්ම අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපති හා විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිසමේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයින්, නීතිපත්වරයා, විගනකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරයා හා පාර්ලිමේන්තු මහලේකම්වරයා වැනි තනතුරු පත් කිරිමේ දී ජනාධිපතිවරයා සතුව තිබු බලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී ව්‍යවස්ථා සභාව හා කොමිෂන් සභා අතර බෙදී ගියා.

ඒ අනුව තනතුරු සඳහා පුද්ගලයන් නම් කිරිමේ බලය ජනාධිපතිවරයා සතුව ඇති අතර ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සභාව සිදුකරනු ලබන්නේ එම නිර්දේශ අනුමත කිරිම පමණක් බවයි ඉරිදා ලංකාදීප පුවත්පත පෙන්වා දෙන්නේ.

ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ලද පුද්ගලයා අදාළ තනතුරු සඳහා පත්කිරිමේ බලය පවතින්නේ ද ජනාධිපතිවරයාටයි.

එසේ නොමැතිව යම් තනතුරකය කිසිවෙකු පත්කිරිමේ හෝ තේරීමේ බලයක් ව්‍යවස්ථා සභාවට නොමැති අතර යම් යම් තනතුරුවලට පුද්ගලයන් පත්කිරිමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලවල බරපතල විවේචන එල්ල වුණා.

පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා පත්කිරිමේ දී ව්‍යවස්ථා සභාව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කරනු ලැබුවා.

අදාළ පත්වීම්වල දී ව්‍යවස්ථා සභාව එකින්  එකට වෙනස් ක්‍රම දෙකක් අනුගමනය කළ බව ද සඳහන්.

එහිදී නීතිපතිවරයා පත්කිරිමේ දී එක් පුද්ගලයෙකු නම් කරන ලෙසත් පොලිස්පතිවරයා නම් කිරිමේ දී  පුද්ගලයන් තිදෙනෙකුගේ නම් නිර්දේශ කර එවන ලෙසත් ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

එහිදී සිදුවූ යම් යම් කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිත් කලකිරිමෙන් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ආකාරයට ක්‍රියා කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය ජනාධිපතිවරයාට දැනුවත් කර ඇති බවද එම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළ බවයි ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙන්නේ.