Monday, May 13, 2024

General line - 0115112241

අධිකරණය මග හැර විදෙස් ගියත් ආපසු එද්දී මාට්ටු වු පුද්ගලයා රිමාන්ඩ්

ටෝනි කරුණනායක - ගම්පහ




අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබා සිටි පුද්ගලයෙකු විදේශගතව සිට යළි දිවයිනට  පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාට විරුද්ධව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙන් ඔහු අධිකරණයට වාර්තා නොකර අධිකරණය පැහැර ඇති බව සඳහන්.

ඔහු විදේශ ගතව ඇති බව වාර්තා වීමත් සමග ඔහුට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුනේ යළි දිවයිනට පැමිණිමේ දී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපල බලධාරින් ද දැනුවත් කර තිබුණා.

කෙසේ වෙතත් ඔහු යළි දිවයිනට පැමිණෙමින් සිටිය දී අත් අඩංගුවට ගත් පොලීය අදාළ පුද්ගලයාව අද (23) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබන ජනවාරි 09 වනදා ඒ පිළිබඳ වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසයි මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සරල කරුණාරත්න අද (23) මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ.

සැකකරු අධිකරණයට ඉදිපත් කරන තුරු රිමාන්ඩ් භාරයේ රඳවා තබන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

පහරදීමක් සහ අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට චෝදනා එල්ල වී තිබෙනවා.

ඔහු දඹුල්ල යාපාගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.