Monday, May 13, 2024

General line - 0115112241

එජාපයට එනවයි කියන දෙන්නා අනාගතය ගැන කියන කතාව

තරංග රුක්ෂාන් ජයසේකර




ආණ්ඩුවට එක්වන බව පැවසෙන ඒකාබද් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙක් සිය අනාගත දේශපාලනය පිළිබඳ අදහස් පළ කර තිබෙනවා.

එක් අයෙකු වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ලයි. මහනුවර දී මාධ්‍යවේදීන් ඔහුගෙන් ප‍්‍රශ්න කළේ ආණ්ඩුවට එක්වන බවට පළවන වාර්තාවල කිසියම් සත්‍යතාවක් පවතින්නේ ද යන්න පිළිබඳවයි.

මන්ත‍්‍රීවරයා ඊට ලබාදුන්නේ මෙවන් පිළිතුරක්. "තාජුඩීන්ගේ කේස් එක වගේ තමයි මේකත්..ඡන්දයක් එනකොට මිනිය ගොඩට එනවා වගේ ඡන්දයක් එනකොට මගේ නමත් උඩට එනවා..අපේ නම් භාවිතා කිරීම හරහා යම් සතුටක් ලබන පිරිසක් ඒ පැත්තේ ඉන්නවා..ඕක තමයි කියන්න තියෙන්නේ." 

තමන්ට ද ආණ්ඩුවට එක්වන ලෙසට ඇරයුම් ලැබුණු බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න ද පවසන්නේ. එහෙත් නිවැරදි දිශාවක ගමන් නොකරන ආණ්ඩුව සමග කිසිවිටෙකත් එක් නොවන බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ඊයේ (24) කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වීමේ සූදානමක් ඇති බවයි. 

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසාගෙන් විමසීමක් කළා. 

එහිදී ඔහු සඳහන් කළේ "අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා වගේම එක්සත් ජාතික පක්ෂය මුල් වෙච්ච ආණ්ඩුව මේ වන විට බරපතල ලෙස ජනතාව අතර ප්‍රතික්ෂේප වෙමින් තිබෙනවා. එය පැහැදිළිව මැතිවරණ කාලසීමාවේදී අපිට පෙන්නුම් කරමින් තිබෙනවා. වැටෙමින් ඇති ඒ අයගේ මානසික මට්ටම රඳවා ගැනීමට විවිධ ප්‍රකාශ කරනවා." යනුවෙනි.

පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නියත පරාජයක් ලබන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.