Monday, May 13, 2024

General line - 0115112241

ලෝකයේ ලොකුම මගී ගුවන් යානයකට ශ්‍රී ලංකා අහසේදී සිදු වූ දේ

ටී කේ ජී කපිල - කටුනායක




ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කර තිබෙන විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ප්‍රංශයේ නිෂ්පාදිත  A - 380 එයාර් බස් වර්ගයේ මගී ගුවන් යානයක් අද (25) අලුයම හදිසියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම යානය එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ . - 449 දරන ගුවන් යානයයි. මෙවැනි යානා 100 ක් පමණ මෙම ගුවන් සමාගම සතුව පවතින බවයි වාර්තා වෙන්නේ.

අදාළ යානය අද අලුයම 2.50 ට නවසීලන්තයේ ඕක්ලන්ඩ් සිට ඩුබායි බලා පියාසර කරමින් සිටි අතරතුර, ශ්‍රී ලංකාවට අයත් ඉහළ අහසේ දී යානයට ප්‍රමාණවත් ඉන්ධන නොමැති බවට යානයේ නියමුවා විසින් හදිසියේ දැනගෙන තිබෙනවා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් වෙත දැනුම් දී, අදාළ යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්වීමට කටයුතු කළා.

මෙහි ගුවන් මගීන් 400 ක් සිටි අතර, ගුවන් යානා කාර්යය මණ්ඩලය 30 දෙනෙකුගෙන් සමන්විතයි.

මෙම යානයට ජෙට් A- 1 වර්ගයේ ඉන්ධන ලීටර් 30,000 ක් ලබා ගැනීමෙන් අනතුරුව, යළිත් අලුයම 4.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පියාසර කළා.