Friday, May 17, 2024

General line - 0115112241

ත්‍රීරෝද රථවලට හොඳ නමක්

සජිත් තිලකරත්න




මෙම වසරේ ගතවූ මාස 11 තුළ රිය අනතුරු හේතුවෙන් සිදුවූ මරණ ගණන පෙර වසරට සාපේකෂ්ව වැඩි වී ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ පැවසුවේ පෙර වසරට සාපේක්ෂව විශාල ප‍්‍රමාණයේ රථ වාහන අනතුරු ද මෙම කාලය තුළ කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවයි.

ඉකුත් වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වූ කාලය තුළ බස් රථ රියදුරන් හේතුවෙන් 161ක් දෙනෙකු මියගොස් තිබූ අතර, විශේෂයෙන් පෞද්ගලික බස් රථ රියදුරන්ගේ හික්මීමක් නැති රිය ධාවනය හේතුවෙන් මෙම වසරේ මේ වෙන විට එය 188ක් දක්වා වර්ධනය වී ඇති බව පැවසුවා.  

එමෙන්ම ලංකාවේ ලොරි අනතුරු සංඛ්‍යාවද වැඩි වී ඇති බවයි වෛද්‍ය සිසිර කෝදාගොඩ පෙන්වා දෙන්නේ. ඉකුත් වසරේ ලොරි අනතුරු හේතුවෙන් ජීවිත 319 ක් අහිමි වූ අතර මේ වසරේ මේ දක්වා එය 363 දක්වා වැඩි වී ඇති බවද සඳහන් කළා.

වෑන් රථ අනතුරුවලින් ඉකුත් වසරේ 173 දෙනෙකු මිය ගිය අතර මේ වසරේ එය 208 දක්වා වැඩිවී තිබෙනවා. කෙසේවෙතත් මේ වසරේදී ත්‍රීරෝද රථ අනතුරු හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ඉකුත් වසරට සාපේක්ෂව අඩු වී තිබෙනවා. ඒ අනුව ගිය වසරේ ත්‍රීරෝද රථ අනතුරු හේතුවෙන් 368ක් මිය ගිය අතර මේ වසරේ මේ දක්වා එය වාර්තා වී ඇත්තේ 353ක්.

ඉකුත් වසරේ ත්‍රීරෝද රථ අනතුරු සමාජයේ දැඩි කතාබහක් මතු කළ අතර ඒ නිසාම මාර්ගවල ධාවනය කෙරෙන ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් පොලිසිය වැඩි අවධානයක් යොමු කර තිබුණා. 

යතුරුපැදි අනතුරු හේතුවෙන් ගිය වසරේදී පුද්ගලයින් 1123 දෙනෙකු මිය ගොස් ඇති අතර මේ වසරේ මේ දක්වා එය වාර්තා වෙන්නේ 1145ක් වශයෙන්.