Friday, May 3, 2024

General line - 0115112241

මහින්දගේ රැළියේදී වෙච්ච දේ එජාපය සොයා යයි




කුලියාපිටිය නගරයේදී පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පොදු ජන පෙරමුණේ රැස්වීම අවස්ථාවේ දී ප්‍රදේශයේ විදුලිය සහ ජලය කපා හැර තිබූ බවත්, ඒ සඳහා රටේ අධ්‍යාපන අමාත්‍යවරයා එක්වීම කණගාටුදායක බවට චෝදනා කරමින්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ ඊයේ (23) වාර්තා වුණා.

මෙවැනි ක්‍රියා නැවැත්වීමට පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව පොහොට්ටුවට ඡන්දය ලබාදිය යුතු බව ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් ව තිබුණා.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙසත්, කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙසත්, අකිල විරාජ් කාරියවසම් මෙම චෝදනාවන් තරයේ ප්‍රතික්ෂේප කර සිටිනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ වේදිකා ගිනි තැබීම්, රැස්වීම්වලට කඩාපැන වෙඩි තැබීම්, පොලිසිය හා හමුදාව මාර්ග ආරක්ෂණ කටයුතුවලින් ඉවත්කිරීම්, රැස්වීම් පැවැත්වීමට නියමිත ව තිබූ ක්‍රීඩාංගන සහ ස්ථානවලට බාධා කිරීම්, විදුලිය සහ ජලය කපාහැරීම්, ස්ථාන වෙන් කරගැනීමට අවකාශ නොදීම වැනි පහත් ක්‍රියා සිදුකළ දේශපාලන සංස්කෘතිය 2015 ජනවාරි 08 වැනි දා සහ 2015 අගෝස්තු මස 17 වැනිදා ජනතාව විසින් සහමුලින් ම ජරාජය කර දැමූ බවයි.

දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම බස් රථ පුරවා මිනිසුන් රැගෙන එමින්, පවතින ජනමතය දෙගුණ තෙගුණ කර පෙන්වමින්, අපහාස, අවලාද, උපහාස නඟමින් දේශපාලනයෙහි නිරතවීම පුරුද්දක් කරගත් පරාජිත රාජපක්ෂ රෙජිමය වර්තමානය තුළ ද තම නග්න දේශපාලනය මෙවැනි සිදුවීම් හරහා ප්‍රදර්ශනය කරමින් සිටින බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කරනවා.

අදාළ රැළිය පැවැත්වුණු පසුගිය 21 වැනි දා කුලියාපිටිය ප්‍රදේශයේ සත්‍ය වශයෙන් ම විදුලිය බිඳවැටීමක් හෝ ජල කප්පාදුවක් සිදුවූයේ නම් එවැන්නක් සිදුවූයේ කුමන හේතුවක් නිසා ද යන්න පිළිබඳ තමන් මේ වනවිටත් කුලියාපිටිය නගර සභාවේ ලේකම්වරයාගෙන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වයඹ පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගෙන් කරුණු විමසීමට කටයුතු කරන්නැයි නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද සඳහන් කළා.

ඕනෑම පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් අපක්ෂපාතීව කරුණු සොයා බැලීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන රජය රට තුළ අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දී ඇති බව ද පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා මඩ, අවලාද නඟමින් තමන් දේශපාලන භාවිතයන් සිදුකළ ආකාරයටම අනෙක් පාර්ශ්වයන් ද දේශපාලනය සිදුකරන්නේ’යැයි සිතමින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු කණ්ඩායම ගෙන යන පහත් මාධ්‍ය සංදර්ශනවලට නිසි පිළිතුරු එළඹෙන පෙබරවාරි 10 වැනි දා ජනතාව විසින් ලබා දෙනු ඇති බව ද අවධාරණය කළා.