හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහිව නඩුව ජූනි මස 4 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (23) නියෝග කළා. ඒ, දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ රුපියල් මිලියන 36 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්.
ඉකුත් ජනාධිපතිවරණය සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ මුදල් වැය කර යකඩ බට මිල දී ගෙන පළාත් පාලන ආයතන වෙත බෙදාහැරි බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. අද දින මෙම නඩුව මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව ඉදිරියේ කැදවු අවස්ථාවේ දී පැමිණිලි පාර්ශවයේ ලේඛන විත්ති පාර්ශවයට ලබා දීම සිදු කෙරුණා.