ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් බස් ගාස්තු ද අනිවාරයෙන් වැඩි කිරීමට සිදු වන බව පෞද්ගලික බස් හිමියන් පවසනවා. ඒ පිළිබඳ කරුණු දක්වන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දෙන්නේ ඉන්ධන මිල වැඩි වීම බස් කර්මාන්තයට දැඩි බලපෑමක් බවයි. අද දහවල් සිදු කරන ලද සාකච්ඡාවකින් පසු බස් ගාස්තු වැඩිවන ආකාරය පිළිබඳ දැනුවත් කරන බවද සඳහන් කළා.
මේ අතර ඉන්ධන මිල වැඩි කිරීම සැලකිල්ලට ගනිමින් අද (11) සිට ත්රීරෝද රථ ගාස්තු ඉහළ නංවන බව සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. එහි සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ දැනට පවතින ගාස්තුව වසර 06කට වැඩි කාලයක් පවත්වාගෙන ආ බවයි. ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 50ක් පැවැති ගාස්තුව රුපියල් 10කින් ඉහළ දමන බවත් දෙවැනි කිලෝමීටරයට ඇති ගාස්තුව උපරිම රුපියල් 40ක් දක්වා දැනට ඇති බවත් එම ගාස්තුව සංශෝධනය නොකරන බවත් සඳහන් කළා.
ඉන්ධන මිල වැඩි කරන බවට ප‍්‍රවෘත්ති පළවීමත් සමග බොහෝ ප‍්‍රදේශවල පිරවුම්හල් අසල ඊයේ (10) පස්වරුවේ දිගු පෝලීම් දක්නට ලැබුණා. ඉන්ධන ලබාගැනීම සඳහා පැය 02ක් පමණ පෝලිම්වල රැඳී සිටි බවයි ඇතැම් රියදුරන් කියා සිටියේ. nethnews.lk ඔවුන් කිහිපදෙනෙකුගෙන් ද අදහස් විමසීමක් කළා. එහිදී දැක්වූ අදහස් පහතින් දැක්වෙයි.
ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල වැඩි කෙරුණු අතර ඒ අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල්වල ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 148ක්. කෙසේ වෙතත් ලංකා අයි. ඕ. සී. සමාගම ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 151 දක්වා වැඩිකර තිබෙනවා.
ඕනෑම පිරවුම්හලක ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 137ක්. ලංකා අයි. ඕ. සී. සමාගමේ යුරෝ තුන් පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 143ක් වනවා. ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල්වල ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 109ක්. එහෙත් ලංකා අයි. ඕ. සී. සමාගමේ පිරවුම්හල්වල ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 111ක් වනවා. සෑම පිරවුම්හලකම සුපිරි ඞීසල් අලෙවි කෙරෙන්නේ ලීටරයක් රුපියල් 119කටයි. භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 101ක් වනවා.
(වීඩියෝව පහතින් දැක්වෙයි)