Saturday, May 11, 2024

General line - 0115112241

වර්ජනය අවසන් කිරීමට දුම්රිය තාක්ෂණ නිලධාරීන් තීරණය කරයි (UPDATE)

ඩිල්ෂාන් මඩවල/දිල්ෂාන් තුෂාර




සිය වැඩවර්ජනය අද (31) පස්වරු 4.00ට අවසන් කිරීමට දුම්රිය තාක්ෂණ නිලධාරීන් තීරණය කර තිබෙනවා. පෙරවරුවේ රැස් වූ දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති සන්ධානයේ විධායක සභාවේදීයි එම තීරණය ගෙන ඇත්තේ. 

දුම්රිය තාක්ෂණික නිලධාරීන් වැඩ වර්ජනයක යෙදී සිටියත් දුම්රිය ධාවනය අද බාධාවකින් තොරව සිදු කෙරුණු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. ඇතැම් ස්ථානවල කඩාකප්පල්කාරී ක‍්‍රියා සිදුව ඇතැයි පැමිණිලි ද ලැබී තිබෙනවා. ඒ පිළිබඳ විධිමත් විමර්ශන සිදු කරන බවයි අතිරේක දුම්රිය සාමන්‍යාධිකාරී විජය සමරසිංහ කියා සිටියේ.  

වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් දුම්රිය තාක්ෂණ නිලධාරීන් මෙම වැඩවර්ජනය ආරම්භ කළා. 

-----------------------------

වර්ජනයේ නිරත සේවකයන්ට 12 වන තෙක් කල් දෙයි (UPDATE)

(31-05-2018 10:38)

 

 

වැඩ වර්ජනයක නිරත දුම්රිය තාක්ෂණ නිලධාරීන් වෙත දුම්රිය දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අද (31) මධ්‍යහන 12.00 දක්වාත් සේවයට වාර්තා නොකරන අනියම්, ආදේශක හෝ කොන්ත‍්‍රාත් සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බවටයි.

වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් දුම්රිය තාක්ෂණ නිලධාරීන් මෙම වැඩ වර්ජනය සිදු කරනවා. 

 

----------------------------------

"තාක්ෂණික නිලධාරීන් නැතිව දුම්රිය ධාවනය අවදානම්"

(31-05-2018 06:51)

(සමන්ත කුමාර/ දිල්ෂාන් තුෂාර)

 

දුම්රිය තාක්ෂණ සේවා නිලධාරීන් තවදුරටත් වැඩ වර්ජනයක යෙදී සිටියද දුම්රිය ධාවනය අද (31) සාමාන්‍ය පරිදි සිදු වනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මේ බව සඳහන් කළා. 

කෙසේ වෙතත් වැඩවර්ජනයේ නිරත දුම්රිය තාක්ෂණ සේවා නිලධාරීන් පැවසුවේ සිය සහය නොමැතිව දුම්රිය ධාවනය කිරීම අවදානම් සහිත බවයි. දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුවේ ලේකම් කමල් පීරිස් පෙන්වා දෙන්නේ මූලික පරීක්ෂා කිරීම්, නඩත්තු කිරීම්, මාර්ග සෝදිසි කිරීම් නොමැතිව දුම්රිය ධාවනය කරවීම අවදානම් බවයි.

සිය වැඩවර්ජනය සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන තීරණ සාකච්ඡා කිරීමට අද සිය විධායක සභාව රැස්වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

දුම්රිය තාක්ෂණ සේවා නිලධාරීන් මෙලෙස වැඩ වර්ජනයක යෙදී සිටින්නේ වැටුප් ගැටළුවක් මුල්කර ගනිමින්.