Sunday, May 12, 2024

General line - 0115112241

ජනපතිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට එජාපයෙන් පිළිතුරු දෙයි

සජිත් තිලකරත්න




යහපාලන ආණ්ඩුවේ දින සියය වැඩපිළිවෙල සම්බන්ධ වගකීම තමන් භාරගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එහි සභාපති, අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ යහපාලන ආණ්ඩුව පිහිටුවීමට සම්බන්ධ වූ පාර්ශ්ව ගණනාවක් එක්ව මෙම වැඩපිළිවෙල සකස් කළ බවයි.

අද (31) පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමකින් පසු අමාත්‍යවරයා මේ බව පැවසුවා. 

කෙසේ වෙතත් දින සියයේ වැඩපිළිවෙල සකස් කෙරුණේ තමන්ගේ අනුදැනුමකින් නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (30) කියා සිටියා. මාධ්‍යවේදීන් ඒ පිළිබඳව ද අමාත්‍ය කබීර් හෂීම්ගෙන් ප‍්‍රශ්න කළා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "දැන් කවුරුහරි කියනවා නම් ඒගොල්ලො ඒකේ හිටියේ නෑ කියලා..ඔබතුමන්ලා ගිහිල්ලා ඒක ඒගොල්ලොන්ගෙන් අහන්න. රාජපක්ෂ රෙජීමය ගෙදර යවන්න එළියට ආපු හැමෝම එකට එකතු වෙලා ඒ වැඩපිළිවෙල හැදුවා." යනුවෙනි.