Saturday, May 11, 2024

General line - 0115112241

අනුන්ගේ නඩුවලට බලහත්කාරයෙන් එනවාද? අායේනම් යන්නේ නැහැ - ගල්කිස්ස අධිකරණයේදී දොස් ඇසූ නීතීඥ අජිත් ප්‍රසන්න කියන කතාව

චම්ලි ඒකනායක




මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ විත්තිකරුවකු වන බ්‍රිගේඩියර් අමල් කරුණාසේකර වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න ඊට සහභාගී වන්නේ සහ කරුණු දක්වන්නේ තමාගේ අනුදැනුමකින් තොරව බව අමල් කරුණාසේකර රහස් පොලිසිය වෙත පැවසූ බව, ඊයේ (30) පැවති නඩු විභාගයේදී අධිකරණය වෙත රහස් පොලිසිය දැනුම් දුන්නා. 

පසුගිය නඩු වාරයේදී එවක හමුදාපති සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් ඔහු අධිකරණයේ ඉදිරිපත් කළ කරුණු තමාගේ අනුදැනුමකින් තොරව සිදුවූ බවයි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් නීතීඥ අජිත් ප්‍රසන්නගෙන් nethnews.lk විමසා සිටියා. 

"මේ නඩුවේ ප්‍රධාන නීතීඥයා නලීන්ද ඉන්ද්‍රතිස්ස. ඔහු රණ විරුවන් වෙනුවෙන් පෙනී සිටින නඩු ගණනාවකම ඔහුගේ කණිෂ්ඨ නීතීඥයකු වශයෙන් මම සහභාගී වෙලා තියෙනව. ඒ  මා සතු දැනුම හා යුද සේවයේ පලපුරුද්ද හේතුවෙන්. මම කාලයක් යුද හමුදා නීති අංශයේත් සේවය කරල තියෙනවා. හමුදා නීතිය යුද නීතිය සම්බන්ධයෙන් ඇති දැනුම නිසයි ඔහු එවැනි නඩුවලට මාව කැඳවන්නේ. මම මේ නඩුවටත් පෙර අවස්ථා දෙකකදීම ඉදිරිපත් වෙලා තිබෙනවා. එහිදී නලින්ද ඉන්ද්‍රතිස්ස විසින් නඩුවේ නීතීඥයකු ලෙස මගේ නමත් සඳහන්කොට තිබෙනවා. ඉතින් එහෙම තිබියදී මම අනාරාධිතව මෙම නඩුවට සහභාගී වුණා කියල කියන්න බැහැ. කොහොම නමුත් ඊයේ පැවති නඩුවට මම සහභාගී වුණේ නැහැ. ඒ අවස්ථාවේදී තමයි මේ දේ සිදුවෙලා තියෙන්නේ." යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.

තමා තවදුරටත් එම නඩුවට සහභාගී නොවන බවයි ඔහු පැවසුවේ.