Tuesday, May 14, 2024

General line - 0115112241

"අර්ධ සුඛෝපභෝගී පමණක් නෙවෙයි අධි සුඛෝපභෝගී බස් සේවාවත් තහනම් කරන්න"

සමන්ත කුමාර/ලහිරු කපුගේ




අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව නවතා දැමීමට රජය ගෙන ඇති තීරණයට කොළඹ දිස්ති‍්‍රක් බස් මගීන්ගේ සංගමය සහය පළ කරනවා.

එහි ලේකම් ගැමුණු පරණවිතාන සඳහන් කළේ මෙම බස් රථවල තිර රෙදි දැමීම සහ ආසන වෙනස් කිරීම පමණක් සිදුව ඇති බවයි. මගීන්ට වෙනත් කිසිම පහසුකමක් මෙම බස්රථවලින් නොලැබෙන බවද සඳහන් කළා. නමුත් ගමන් ගාස්තුව මෙන් එකහමාරක පමණ මුදලක් අයකරන බවද පෙන්වා දුන්නා.  ජනතාව මෙම බස් සේවාව පිළිබඳව මුල සිටම විවේචන එල්ල කළ බවද සඳහන් කළා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් බස් හිමියන්ගෙන්ද විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ අර්ධ සුඛෝපභෝගී සේවාව මෙන්ම අධි සුඛෝපභෝගී බස් රථ සේවාවද නවතා දැමිය යුතු බවයි.

එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ  " ලෝකයේ කොහෙවත් නෑ මේ අධි සුඛෝපභෝගී බස් සේවාව. මෙහෙ විතරයි තියෙන්නේ. වෙනත් රටවල තියෙන්නේ සාමාන්‍ය සහ සුඛෝපභෝගී බස් සේවා. ලංකාවේ මගී ජනතාව මංකොල්ල කන්නේ අධි සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගී බස් තමයි. මේ දෙකම අහෝසි කරන්න ඕනේ.  

කෙසේවෙතත් අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය පවසන්නේ කි‍්‍රයාත්මක වන සේවාවක් එකවර නවතා දැමීම සාධාරණ නොවන බවයි. මේ පිළිබඳ වගකිව යුතු පාර්ශ්ව සමග නැවත සාකච්ඡා කිරීමට අදහස් කරන බවද ඔවුන් පැවසුවා. එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර මේ බව පෙන්වා දුන්නා.

දැනට ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථ ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර සාමාන්‍ය සේවා බස් රථයක් ලෙස පරිවර්ථනය කළ යුතු බව රජය තීරණය කර තිබෙනවා.