Saturday, May 18, 2024

General line - 0115112241

ඉදිරි දිනවල සුළං තත්ත්වයේ වැඩි වීමක් ගැන කාළගුණ නිවේදනයක්




දිවයිනේත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලත් සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේ ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙනවා.

ඒ අනුව ජුනි මස 06 වැනි දින සිට මෙම තත්ත්වය බලාපොරොත්තුවන බවයි සඳහන් කරන්නේ.

දැනට දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය සහ වළාකුලින් බර ස්වභාවය තවදුරටත් පවතින බවද පෙන්වා දෙනවා.

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනු ඇති.

අද දිනයේ දකුණු පළාතේ සහ මොණරාගල, මාතලේ, නුවරඑළිය මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා තරමක් තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බවද පැවසුවා.

මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකි බවද එවිට මුහුදු රළු විය හැකි බවද පෙන්වා දෙනවා.