Tuesday, May 14, 2024

General line - 0115112241

දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ වාචික දේශන අවසන්

අධිකරණ වාර්තාකරු




හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුලු පුද්ගලයින් සිවු දෙනෙකු ඝාතනය කිරීමට අදාලව මරණ දණ්ඩනයට නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකු ගොනු කර ඇති අභියාචන පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ වාචික දේශන  ජූනි මස 20 දා සහ 21 දින වල සිදු කිරීමට අද (05) දින ලබා දී තිබෙනවා.

මරණ දණ්ඩණයට නියම වී සිටින හත් වන විත්තිකරු වෙනුවෙන් අද දින පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය වාචික දේශන ඉදිරිපත් කළා . ඒ අනුව දුමින්ද සිල්වා ඇතුළු සියලු විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ වාචික දේශන අවසන් කෙරුණා. මෙම අභියාචන පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය මීලඟ දින ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම අභියාචනා පෙත්සම් අද දින අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා. 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුලු සිවුදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය 2015 වර්ෂයේ  සැප්තැම්බර් මස 08වැනි දා දුමින්ද සිල්වා ඇතුලු විත්තිකරුවන් පස් දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළා.

දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් මේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයේ අභියාචන පෙත්සමක් ගොනු කළා.

2011 ඔක්තොම්බර් මස 8 දා හෝ ඊට ආසන්න දිනක මුල්ලේරියාවේ දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුලු සිවුදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් වරදකරුවන් වී මරණ දණ්ඩණය නියම කිරීමට කොළඹ මහාධිකරනයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නියෝග කළා.