Thursday, December 26, 2024

General line - 0115112241

පෞද්ගලික පාසල් කිහිපයකට අනතුරු අඟවයි - නව නීති මාලාවකුත් සැකසෙයි

තරංග රුක්ෂාන්/ සජිත් තිලකරත්න




පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අධික ලෙස මුදල් අය කර ගැනීම වැළැක්වීම සඳහා නව නීති ගෙන ඒමට අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් වනවා.

ඒ, මුදල් අය කිරීම් සම්බන්ධයෙන් පවතින නීති ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන්.

නෙත් නිවුස් කළ සොයාබැලීමකදී හෙළි වුණේ මුදල් ලබා ගැනීමට අදාළව පෞද්ගලික පාසල්වලට ක‍්‍රියාත්මක වන නීති ඉතා පැරණි ඒවා බවයි. වර්තමානයට ගැළපෙන පරිදි නව නීති පද්ධතියක් මෙතෙක් සකස් කර නැහැ. නව නීති මාලාවක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ ඒ අනුවයි.

ඇතැම් පෞද්ගලික පාසල් අත්තනෝමතික ලෙස මුදල් ලබාගෙන ඇති බවට වූ තොරතුරු ද අධ්‍යාපන අමාත්‍යංශයට ලැබී ඇති බවයි වාර්තා වන්නේ. එවැනි පාසල්වලට අනතුරු ඇඟවීම් ද සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් මුදල් අයකිරීමකින් තොරව සිසුන් බඳවා ගන්නා ලෙසට එම පාසල්වලට බල කළ නොහැකි බවද අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු කියා සිටියා.

අදාළ පාසලේ පරිපාලනය, සංවර්ධනය හා අනුමත ගුරුවරුන්ට අමතරව සිටින පිරිසට වැටුප් ගෙවීම ද සිදු වන්නේ පාසලෙන් වීම ඊට හේතුව බවයි ප‍්‍රකාශ කෙරුණේ. කෙසේ වෙතත් පෞද්ගලික පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී කිසියම් හෝ නියාමනයක් සිදු කිරීම නව නීති පැනවීමේ අරමුණ බව නෙත් නිවුස් කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළා. 

මේ අතර අර්ධ රාජ්‍ය හා පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමේදී සිසුන් පීඩාවට පත්වන ක‍්‍රමවේදයක් පිළිබදව ද නෙත් නිවුස් මීට පෙර තොරතුරු අනාවරණ කළා. එලෙස දරුවන් පීඩාවට පත්වුණේ මෙම පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමට පෙර සිසුන්ට වාචික විභාගයකට හා ප‍්‍රායෝගික පරීක්‍ෂණයකට මුහුණදීමට සිදුවීම හේතුවෙන්.