Thursday, December 26, 2024

General line - 0115112241

මුදල් නෝට්ටු මුද්‍රණයෙන් වසරකට කෝටි 150ක පාඩුවක් ලබන බව හෙළිවෙයි

හේමන්ත කහවලගේ




මෙරට මුදල් නෝට්ටු මුද්‍රණයෙන් සෑම වසරකම රජයට රුපියල් මිලියන 1500ක පාඩුවක් සිදු වන බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණා.

මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ බි‍්‍රතාන්‍යයේ ඩිලාරූ නම් සමාගමක් විසින්. වාර්ෂිකව මෙරට තුළ අලූතින් මුද්‍රණය කරන නෝට්ටු සංඛ්‍යාව මිලියන 300ක්. ඒ සඳහා වැයවන මුදල රුපියල් බිලියන 3.5ක් ලෙසටයි ගණන් බලා ඇත්තේ.

ඒ අතරින් නෝට්ටු දහසකින් යුත් එක් ඒකකයක් අදාළ සමාගම හරහා මුද්‍රණය කිරීමේදී දළ වශයෙන් වැයවන මුදල රුපියල් 11,500ක්. එහෙත් වර්තමානයේ වෙළඳපොල මිල ගණන් සැසදීමේදී ඒ සඳහා වැය වන්නේ රුපියල් 4500ත් 5000ත් අතර මුදලක් බවයි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් කියා සිටියේ. ඒ අනුව සමස්ත නෝට්ටු මුද්‍රණය හරහා ශ‍්‍රී ලංකා රජයට රුපියල් මිලියන 1500ක පමණ පාඩුවක් සිදුවන බවද ප‍්‍රකාශ කෙරුණා. 

අදාළ සමාගම මෙරට ස්ථාපිත කර ඇත්තේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් මත පිහිටවූ සමාගමක් ලෙසයි. ඔවුන් ශ‍්‍රී ලංකාවේ මුදල් නෝට්ටු වසර 20ක පමණ සිට මුද්‍රණය කරනවා. ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පවසන්නේ ඔවුන් ඒ සඳහා අවස්ථාව ලබාගෙන ඇත්තේ කිසිඳු ටෙන්ඩර් පටිපාටියකින් තොරව බවයි. ඒ වෙනුවට අදාළ සමාගමේ කොටස්වලින් සියයට 40ක් රජයට ලබාදීමට ඔවුන් කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ. 

වාර්ෂිකව සැලකීමේදී ඒ හරහා රජයට හිමිවන්නේ රුපියල් මිලියන 50ක් පමණයි. එහෙත් මුදල් නෝට්ටු මුද්‍රණය හරහා ශ‍්‍රී ලංකාවට ඊට වඩා තිස් ගුණයක පමණ පාඩුවක් සිදු වන බවයි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පෙන්වා දෙන්නේ. 

මේ අතර අදාළ බි‍්‍රතාන්‍ය සමාගම හරහා මුද්‍රණය කරන මුදල් නෝට්ටුවල ආරක්ෂිතභාවය පිළිබඳව ද වර්තමානය වනවිට ගැටළු පැනනැඟී ඇති බවද ඔවුන්ගේ අදහසයි. වැඩි වශයෙන් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය වන්නේ ඒ හේතුවෙන් බවයි පැවසෙන්නේ. 

මෙම තත්ත්වය සහ මුදල් නෝට්ටු මුද්‍රණයේදී ආණ්ඩුවට පාඩුවක් සිදුවීම පිළිබඳ මේ වනවිට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ද අවධානය යොමුව ඇති බව නෙත් නිවුස් කළ සොයා බැලීමේදී වැඩිදුරටත් අනාවරණ වුණා.