Thursday, December 26, 2024

General line - 0115112241

තෙවරප්පෙරුම සමග STF නොයන ලකුණු

හේමන්ත කහවලගේ/ පසන් වික්‍රමතිලක/සුපෙම් මානගේ




දින 10කට අධික කාලයක් අතුරුදන්ව සිටින කලාවැව ජාතික වනෝද්‍යානයේ දිගදන්තු හස්තියා සොයා විශේෂ මෙහෙයුමක් අද (28) ආරම්භ වනවා. ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමයි.

මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 50 දෙනෙකුගේ සේවය ලබාගැනීමට අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා. 

දිගදන්තු හස්තියා අතුරුදන්ව සිටින්නේ ඉකුත් 18 වැනිදා සිටයි. වෙඩි වැදී බරපතල තත්ත්වයෙන් පසුවූ දිගදන්තු හස්තියා ඉකුත් දින කිහිපයේ වනජීවි නිලධාරීන්ගේ අධික්ෂණය මත ප‍්‍රතිකාර ලබමින් සිටියා.

හස්තියාට යළි ප‍්‍රතිකාර කිරීමට නියමිතව තිබුණේ ඉකුත් සිකුරාදායි. එහෙත් හස්තියා නිරික්ෂණය නොවුණු බවයි වනජීවි නිලධාරීන් පැවසුවේ. හස්තියාට ප‍්‍රතිකාර කිරීම සඳහා තමන් ද එක්වූ බවයි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ දත්තවලට අනුව වෙඩි වැදීමෙන් හස්තියාගේ ඉදිරි වම් පාදයට තුවාල සිදුව තිබුණා. කලාවැව ජාතික වනෝද්‍යානයේ ඇතුන් ගහණයේ සිටින විශාලතම ඇතා සහ දිගම දල යුගලයට හිමිකම් කියන හස්තියා වන්නේ දිගදන්තු හස්තියායි.

මේ අතර නෙත් නිවුස් කළ වැඩිදුර සොයා බැලීමකදී හෙළි වුණේ දිගදන්තු හස්තියා සොයා අද ආරම්භ කිරීමට නියමිත මෙහෙයුමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහභාගී නොවීමේ වැඩි ඉඩ කඩක් ඇති බවයි. අත්‍යවශ්‍ය රාජකාරී ඊට හේතු වී ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

මේ අතර වනජීවී නියොජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් අතර සූරියවැව ප‍්‍රදේශයේදී පෙරේදා උණුසුම් සංවාදයක් ද ඇතිවී තිබුණා.

අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා අනවසරයෙන් පස් ප‍්‍රවාහනය කරන ටිපර් රථ වැටලීමක් සඳහා ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක්,  රියදුරෙකුගේ ජංගම දුරකතනයක් ගත් බවට ඔවුන් අමාත්‍යවරයාට කළ කරුණු දැක්වීමක් අනුවයි මෙම තත්වය ඇතිවුනේ.

(එම අවස්ථාවේ වීඩියෝවක් පහතින් දැක්වෙයි)