Tuesday, May 14, 2024

General line - 0115112241

රංගේ බණ්ඩාරගේ පුතාගේ නඩුව කැඳවයි (PHOTO)

ජූඩ් සමන්ත




රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර විසින් හලාවත, බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේදී රිය අනතුරක් සිදු කර නිවසකට අලාභහානි සිදු කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ නඩුව ලබන 24 වැනිදා නැවත කැඳවීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක අද (05)  නියෝග කළා.

පසුගිය මස 06 වැනිදා මෙම අනතුර සිදුවී තිබුණා. අනතුරින් කැබ් රථය පැදවූ බව කියන යශෝධ රංගේ බණ්ඩාර තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා. ජාතික රෝහලෙන් සිය කැමැත්තෙන් පිටව ගිය ඔහු වෙනත් රෝහලකට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටියදී එම රෝහලට පැමිණි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා යශෝධ රංගේ බණ්ඩාරව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

පසුගිය මස 14 වැනිදා යශෝධ රංගේ බණ්ඩාරව හලාවත දිසා විනිසුරුවරයා විසින් රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළා.

පසුගිය 26 වැනිදා මෙම නඩුව යළි කැඳවූ විට අලාභහානි වූ නිවස ජූලි මස 05 වැනිදාට පෙර සාදා නිම කරන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කර එදින දක්වා නඩුව කල් තැබුවා.

ඒ අනුව 05 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී යශෝධ රංගේ බණ්ඩාර වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ ෂෙරාන් දේවප්‍රිය හෙට්ටිආරච්චි කියා සිටියේ අදාල නිවසේ අලාභහානි වූ බව කියන ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරන මේ වන විට ලබා දී ඇති බවත්, නිවසේ අළුත් වැඩියා කිරීමේ කටයුතු 90% ක් අවසන් වී ඇති බවයි. ඉදිරි නඩු දිනයට පෙර ඉතිරි කොටසද අවසන් කරන බව නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා.

අනතුරුව මෙම නඩුව යළි කැඳවීම මෙම මස 24 වැනිදා දක්වා කල් තැබීමට දිසා විනිසුරුවරයා නියම කර තිබෙනවා.