Thursday, May 9, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ගමට ගිය හැටි කියූ අගමැති මත් උවදුර මඩින හැටිත් කියයි




මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට නම් මත්ද්‍රව්‍ය සැපයුම් අඩපන කළයුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. එහෙත් ඉකුත් සමයේ සිදුවුයේ මත්ද්‍රව්‍ය බෙදා හරින්නන් අත්අඩංගුවට ගැනිම පමණක් බවයි ඔහු කියාසිටියේ. එම අසාර්ථක ක‍්‍රමය වෙනස් කරමින් 2015 වසරේ සිට මත්ද්‍රව්‍ය සැපයුම් අඩපන කිරීමට පියවර ගැණුනු බවද අග‍්‍රාමාත්‍යවරයා පැවසුවා. 

2015 වසරේ සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 553 ක්. කොකේන් කිලෝග‍්‍රෑම් 1,812 ක් සහ ගංජා කිලෝග‍්‍රෑම් 18,635 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුම් නිසා මත්ද්‍රව්‍ය සැපයුම් මේ වනවිට අඩු වී තිබෙන බවයි අග‍්‍රාමාත්‍යවරයා කියාසිිටියේ. මත්ද්‍රව්‍යවල මිළ තුන්ගුණයකින් පමණ වැඩි වී ඇතැයිද සැපයුම් අඩුවීම නිසා මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් අතර ගැටුම් ඇති වී තිබෙන බවද අග‍්‍රාමාත්‍යවරයා පැවසුවා.

ඉකුත් පාලන සමයේදී ප‍්‍රාදේශීය සභාවක සභාපති ධුරය සදහා ප‍්‍රධාන සුදුසුකමක් ලෙස ස්තී‍්‍ර දූෂණය සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සැලකූ බවයි මෙහිදි වැඩිදුරටත් සිහිපත් කෙරුණේ. දේශපාලන මැදිහත්වීම් මගින් නීතිය යටපත්වීම මත්ද්‍රව්‍ය ජාවාරම හිස එසවීමට හේතුවක් වූ බව ද අග‍්‍රාමාත්‍යවරයා පැවසුවා. නගරයට පමණක් සීමා වී තිබූ මත්ද්‍රව්‍ය ග‍්‍රාමීය කුඩා පාසල් දක්වාත් ව්‍යාප්ත වූයේද ඒ නිසා බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන සාමාන්‍ය ජනතාවට හානියක් නොවන පරිදි මත්ද්‍රව්‍ය පාලනය කරන ලෙස තමන් නීතිය හා සාමය පිළිබද අමාත්‍යවරයාටද පොලිස්පතිවරයාටද උපදෙස් දී ඇතැයිද අග‍්‍රාමාත්‍යවරයා කියාසිටියා. ඔහු මෙම කරුණු දැක්වුයේ ඉබ්බාගමුව ප‍්‍රදේශයේ අද පැවති උත්සවයකදීයි.