Monday, May 20, 2024

General line - 0115112241

ඉන්දියාව මත්තල එපා කීම ජනතාව මුලා කිරීමක්! පලාලිත් ගන්නයි ඉන්දියාවේ සැලැස්ම

ලහිරු කපුගේ




මත්තල ගුවන් තොටුපොලේ මෙහෙයුම් කටයුතු අත්පත් කර ගැනීමට ඉන්දියාව අපේක්‍ෂා නොකරන බවට ඉන්දියාව සිදුකර ඇතැයි කියන ප‍්‍රකාශය පිළිගත නොහැකි බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා. ඉන්දීය සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහා ප‍්‍රකාශ කළේ මත්තල ගුවන් තොටුපොල පවරා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය ගුවන් තොටුපොල අධිකාරියට මෙතෙක් යෝජනාවක් ඉදිරිපත්ව නොමැති බවයි.

මෙම ප‍්‍රකාශය මත්තල ගුවන් තොටුපොල විකිණීමට එරෙහි විරෝධතා මැඩපැවැත්වීමේ අරමුණින්, ඊට පෙළගැසෙන ජනතාව නොමග යැවීමේ අරමුණින් සිදුකරන ලද්දක් බවයි ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පැවසුවේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ විෂයබාර අමාත්‍යවරයාත් අගමැතිවරයාත් මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබාදීමට කටයුතු කරනා බව වරින්වර පාර්ලිමේන්තුවේදීත් ඉන් පටදීත් පවසා ඇති බවය.

මත්තල ගුවන් තොටුපොල පමණක් නොව පලාලි ගුවන් තොටුපොල පවරා ගැනීමට ද ඉන්දියාව සැලසුම් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා වැඩිදුරටත් කියාසිටියේ.
 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර නලින්ද ජයතිස්සගෙන්ද විමසීමක් කළා. ඔහු පවසන්නේ රාජ්‍ය දේපල විකුණා දැමීමේ ක්‍රියාවට තම පක්ෂය කවදත් එරෙහි බවය. මේ අවස්ථාවේදී හම්බන්තොට වරාය චීනයට විකුණද්දි නිහඬව බලා සිටි පිරිසක් මත්තල ගැන පමණක් කතාකරමින් සිටිනා බව ඔහු සිහිකළා. මෙවැනි ප‍්‍රකාශ මගින් රාජ්‍ය දේපළ විකිණිමට එරෙහිව සිය පක්‍ෂය ගෙනයන අරගලය අඩාල නොවන බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.