Monday, May 20, 2024

General line - 0115112241

යහපාලන ආණ්ඩුවේ මෝඩකමක් ගැන ඇමති රාජිත කියයි

කසුන් කැලුම් / ලහිරු කපුගේ




ප‍්‍රචාරණ කටයුතු සඳහා මුදල් වැය නොකිරීමට ගත් තීරණය යහපාලන ආණ්ඩුව ගත් මෝඩ තීන්දුවක් බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතර හෙද විද්‍යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (28) එක්වෙමින්.

වත්මන් ආණ්ඩුව රටේ වෙනසක් කර ඇති බවත්, එය ප‍්‍රචාරය කිරීමට අවශ්‍ය කටයුතු නොකිරීම හේතුවෙන් ජනතාව අතර ප‍්‍රසාදයක් හිමි නොවී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. මේ හේතුවෙන් සිය රජය කළ සංවර්ධන ව්‍යාපෘති ඉකුත් රජයට බැර වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා. ජනතාව වෙනුවෙන් මුදල් වැය කළද ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොවීම හේතුවෙන් වත්මන් ආණ්ඩුව විවේචනයට ලක්වෙමින් ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ඉදිරි සංවර්ධන කටයුතු නවතා ඒ වෙනුවට වත්මන් ආණ්ඩුව සිදු කළ ව්‍යාපෘති පිළිබඳ පුළුල් ප‍්‍රචාරයක් ලබා දිය යුතු යැයි තමන් අග‍්‍රාමාත්‍යවරයාට යෝජනා කළ බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.