Sunday, May 12, 2024

General line - 0115112241

මුදලට තරග පාවාදුන් ක්‍රීඩකයාට වසර 10 ක තරග තහනමක්

දිනුක් හේවාවිතාරණ




පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස කටයුතු කළ නසීර් ජම්ෂෙඩ් හට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වසර 10 ක තරග තහනමක් පනවා තිබෙනවා. ඒ මුදලට තරග පාවා දීමේ සිද්ධියක් හේතුවෙන්.

2017 වසරේ දී පැවති පාකිස්ථාන සුපර් ලිග් තරගාවලියේදී වාර්තාවූ මුදලට තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ෂණයේදී හෙළිවී ඇත්තේ නසීර් ජම්ෂෙඩ් එම චෝදනා සියල්ලටම වැරදිකරු බවයි. ඒ හේතුවෙන් ඔහුට එරෙහිව වසර 10 ක තරග තහනමක් පැනවූ බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

මෙම තරගාවලියේදී වාර්තාවූ තරග පාවා දීමේ සිදුවීමට මිට පෙර නසීර් ජම්ෂෙඩ්ට එරෙහිව වසරක තරග තහනමක් පනවා තිබුනා. පාකිස්ථානය නියෝජනය කරමින් එක්දින තරග 48කට සහ ටෙස්ට් තරග 02 කට නසීර් ජම්ෂෙඩ් ක්‍රීඩා කර තිබෙනවා.

මෙම තරග පාවා දීමේ සිදුවීමට සම්බන්ධ අනෙක් ක්‍රීඩකයින් වන ශරාජිල් ඛාන්, කහාලිඩ් ලතිෆ්, මොහොමඩ් ඉර්ෆාන්, මොහොමඩ් නවාස්, ශාසිබ් හසාන්ට එරෙහිව දඬුවම් නියම කිරීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරනු ලැබුවා.