Monday, May 20, 2024

General line - 0115112241

ත්‍රස්ත චෝදනාවන්ට ශ්‍රී ලාංකික සිසුවා හසුකලේ ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ සහෝදරයාද? : පොලිසිය විමර්ශන අරඹයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කාවාජාගේ සොහොයුරා වන අර්සනාල් කාවාජා ජිවත් වන සිඩිනි හි පිහිටි නිවස එරට ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් පරික්ෂා කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මිට මාසයකට පමණ ඉහතදී නිව් සවුත් වේල්ස් සරසවියේ තිබී හමුවූ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කිරීමට අදාළ විස්තර ඇතුලත් පොතක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයන්ට අදාළව මෙම සෝදිසි කිරීම සිදු කර ඇති බව සදහන්.

ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කිරීමට උත්සහ කළ බව පවසමින් එම සටහන් පොත ශ්‍රී ලාංකික සිසුවෙක් වන මොහොමඩ් නිශාම්ඩින්ට අයත් බව පවසමින් ඔහුව මාසයකට ආසන්න කාලයක් සිරගත කර තැබූ අතර ඉකුත් සිකුරාදා ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට එරට අධිකරණය පියවර ගනු ලැබුවා. ඒ ඔහු කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලාංකික සිසුවාගේ මේසයේ තිබී එම සටහන් පොත පොලිසිය වෙත ලබා දී ඇත්තේ සරසවි සේවකයෙක් වන අතර පොලිසිය මෙය මොහොමඩ් නිෂාම්ඩින්ව කොටු කිරීමට කවුරුන්හෝ සිදුකළ සැලැස්මක්ද යන්න ගැන සොයා බලමින් සිටින බවයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

වාර්තා වන පරිදි ශ්‍රී ලාංකික සිසුවා අධ්‍යාපනය හදාරණ එම සරසවියේම අර්සනාල් කාවාජාද සේවය කරන බව එරට පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන ඇති බව එරට මාධ්‍ය විසින් අනාවරණය කර තිබෙනවා.

මේ අතර උස්මාන් කාවාජාගේ පියා සදහන් කර සිටින්නේ ඊයේ දිනයේදී පොලිස් නිලධාරීන් ආයුධ සන්නද්ධව සෝදිසි කිරීමේ වරෙන්තුවක් සමග සිය නිවසට පැමිණ පරික්ෂා කිරීමේ කටයුතු සිදුකළ බවයි.

එම පරික්ෂා කිරීම් වලදී අර්සනාල් කහවාජාගේ අත් අකුරෙන් ලියන ලද සටහන් ඇතුලත් ලිපි ලේඛන කොටසක් පොලිසි ත්‍රස්ත විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන ඇති බව සදහන්. නිව් සවුත්වේල් සරසවියේ තිබු ත්‍රස්ත සැලසුම් ඇතුලත් සටහන් පොතේ ඇතුලත් අකුරු සහ අර්සනාල් කාවාජාගේ අත් අකුරු සමග සැසදේද යන්න ගැන සෙවීම පොලිසියේ අරමුණ වී තිබෙනවා.

මෙම ත්‍රස්ත ප්‍රහාර සැලසුමේ නියම මොළකරු උස්මාන් කවාජාගේ සොහොයුරාද යන්න ගැන පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය පරීක්ෂණ සිදුකරමින් සිටිනවා.

 

(අර්සනාල් කාවාජා)
( ශ්‍රී ලාංකික සිසුවා වන මොහොමඩ් නිශාම්ඩින්)
( උස්මාන් කාවාජා සහ සොහොයුරා වන අර්සනාල් කාවාජා)