Monday, May 20, 2024

General line - 0115112241

මෙරට දිගම දුම්රිය උමගේ සංඥා රැහැන් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට (PHOTOS)




මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකරමින් පවතින නවතම දුම්රිය මාර්ගයේ සවිකොට තිබු සංඥා රැහැන් සොරකම් කොට ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් සහ එම රැහැන් මිලදී ගැනීමට සුදානම්ව සිටි ගැනුම්කරු ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැකූණදුර දුම්රිය මාර්ගයේ පිහිටි මීටර් 620 ක් දිගින් යුත් මෙරට දිගම දුම්රිය උමග තුල සවිකර තිබු සංඥා රැහැන් පද්ධතියෙන් මීටර් 80 ක ප්‍රමාණයක් මෙලෙස සොරකම් කර ඇති බවයි ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

පොලිසිය විසන් සිදුකළ විමර්ශනයෙන් පසුව එම රැහැන් ප්‍රවාහනය කළ ලොරි රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර රියදුරුගෙන් ලද තොරතුරු මත එම සංඥා රැහැන් මිලදී ගත් පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ගන්දර පොලිසිය සදහන් කර සිටිනවා.

දුම්රිය මාර්ගයේ සංඥා රැහැන් කැපු පුද්ගලයා මේ වන විට හදුනාගෙන ඇති බවත් ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.

මාතර සිට බෙලිඅත්ත බලා ඉදිකරමින් තිබෙන නව දුම්රිය මාර්ගයේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (විදුලි සහ සංඥා) චින්තක ජයසේකර වෙත ප්‍රකාශ කර සිටියේ මෙම සිදුවීම හේතුවෙන් රුපියල් දෙලක්ෂයක පමණ අලාභයක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති බවයි.

ඉකුත් කාල සිමාවේදීද මේ ආකාරයෙන් දුම්රිය මාර්ගයන්හි සංඥා රැහැන් සොරකම් කොට විකුණු පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනීමට පොලිසිය සමත් විය.

සිදුවීම සම්බන්ධයෙන් ගන්දර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.