Monday, May 20, 2024

General line - 0115112241

බන්ධනාගාර විරෝධතාව දික්ගැස්සෙයි: කාන්තා රැඳවියන් සහයට එයි (PHOTOS) (UPDATE)

ගුණරත්න ගමගේ/නිශාන් ද සිල්වා/රාහුල් සමන්ත/සුපෙම් මානගේ




අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව තවදුරටත් දික්ගැස්සී තිබෙනවා. ඒ, කාන්තා රැඳවියන් පිරිසක් ද ඊට සහය පළ කිරීමත් සමඟයි. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ කාන්තා රැඳවියන් 150කට වැඩි පිරිසක් මෙහිදී කළහකාරී ලෙස හැසිරී ඇති බවයි. 

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් අද (21) උදෑසන මෙම විරෝධතාව ආරම්භ කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බන්ධනාගාර රාජකාරී සඳහා යෙදවීමට විරෝධය පළ කරමින්. සිරමැදිරිවලට හානි කරමින් රැඳවියන් ඒවායේ දොරඟුළු බිඳ පිටතට පැමිණ ඇති බවයි බන්ධනාගාර ආරංචි සඳහන් කළේ. ඒ වනවිට එක් සිර මැදිරියක ආරක්ෂාවට සිට ඇත්තේ නිලධාරීන් දෙදෙනෙකු පමණයි. 

රැඳවියක් ඔවුන්ට ද පහරදී ඇති බවයි වාර්තා වුණේ. පසුව ඔවුන් බන්ධනාගාර මධ්‍යයේ ඇති කුළුණක් මත නැඟ විරෝධතාවක් ආරම්භ කළා. රැඳවියන් පවසන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තමන්ට නිවෙස්වලින් රැගෙන එන ආහාර දැඩි පරීක්ෂාවට ලක් කරන බැවින් ඒවා පරිභෝජනයට ගත නොහැකි තත්වයට පත්ව ඇති බවයි. එමෙන්ම අධිකරණ වෙත ගොස් යළි පැමිණෙන විට තමන්ව අනවශ්‍ය ලෙස පරීක්ෂාවට ලක් කරන බවටද රැඳවියන් චෝදනා කරනවා. 

තත්වය පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් අවට බන්ධනාගාවලින් ද සහය ඉල්ලා සිටි බව අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළා. මීට අමතරව බන්ධනාගාර පොලිස් ඒකකයේ නිලධාරීන් 40 දෙනෙකු ද කොළඹින් පිටත්ව ගොස් ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 
මේ අතර බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීම සම්බන්ධයෙන් බන්ධනාගාරය අවට ප‍්‍රදේශවාසීන් සිය ප‍්‍රසාදය පළ කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් බන්ධනාගාරය තුළ සිදු වන නීති විරෝධි ක‍්‍රියා නතර වනු ඇති බවයි. 

.................................................................................................

බන්ධනාගාර ආරක්ෂක නැරඹුම් කුළුණ රැඳවියන්ගෙන් පිරී යයි (PHOTOS) (UPDATE)

(21-10-2018 11:02)

අද (21) උදෑසන අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ විරෝධතාවය තවදුරටත් සිදු කෙරෙනවා.

බන්ධනාගාර රාජකාරී සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් යෙදෙවුවාට විරෝධය පා මෙය ආරම්භ කළ අතර රැඳවියන් පවසන්නේ පසුගිය දින කිහිපයක සිට බන්ධනාගාරයේ ආරක්ෂාවට හා පරික්ෂා කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීම තුළ තමන්ට නිවෙස්වලින් රැගෙන එන ආහාර හා වෙනත් ද්‍රවය දැඩිසේ පරික්ෂාවට ලක්කිරීම නිසා ඒවා පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයකට පත්වෙන බවයි.

අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ මධ්‍යයේ ඇති කුළුණක් මත නැග රැදවියන් විශාල පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටිනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් බන්ධනාගාරය අවට ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීම තුළ ප්‍රදේශයත් ආරක්ෂා වී බන්ධනාගාරය තුළ සිදුවන නීති විරෝධී කටයුතුද නවතින බවයි.

-----------------------------------

 

බන්ධනාගාර ආරක්ෂක නැරඹුම් කුළුණ රැඳවියන් ග්‍රහණයට (UPDATE)

(21-10-2018 09:15)

 

අද (21) අලුයම අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කර විරෝධතාවය නිසා  මේ වන විට බන්ධනාගාර නැරඹුම් ආරක්ෂක කුළුණ රැඳවියන් විසින් සිය ග්‍රහණයට ගෙන ඇති බව එහි සිටින nethnews.lk වාර්තාකරු පවසනවා. අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් 1200ක් පමණ රඳවා ඇති අතර මේ වන විට ඉන් 400 දෙනෙකු පමණ මෙම විරෝධතාවයට සහය පළ කරමින් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සෝදිසි රාජකාරී සඳහා යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බලකාය තමන් නිරුවත් කර සෝදීසි කිරීම් සිදු කරන බව පවසමින් ඊට එරෙහිව රැඳවියන් මෙම විරෝධතාවය සිදුකරන බව සඳහන් කරන බවයි එහි සිටින අප වාර්තාකරු පෙන්වා දෙන්නේ.

රැඳවියන් කලු පැහැති රෙදි ඒ මේ අත වනමින් මෙම විරෝධතාවය සිදු කරනු ලබනවා. 

මේ වන විට බන්ධනාගාරයේ ඇතුළත මෙන්ම පිටත ආරක්ෂාවද තර කර ඇති අතර බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බලකායේ 140ක් පමණ රැඳී සිටින බවත් වාර්තා වෙනවා.

බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමේ කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය 17 වැනිදා සිටයි. පළමුව එම කටයුතු ආරම්භ වුණේ අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන්.

පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු සෙසු බන්ධනාගාරවල ද මෙම වැඩපිළිවෙල ක‍්‍රියාවට නංවනු ඇති.

එහිදී, බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම ඇතුළු ප‍්‍රධාන කරුණු කිහිපයක් ඉලක්ක කර ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පසුගියදා කියා සිටියේ. 

බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව. බන්ධනාගාරයට පැමිණෙන රැඳවියන්ගේ ඥාතී පිරිස්, බන්ධනාගාර නිලධාරීන් ඇතුල්වීමේදී සහ පිටවීමේදී පරීක්ෂා කිරීම මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට පැවරී තිබෙනවා.  

---------------------

නිරුවත් කළ බව කියමින් රැඳවියන් පිරිසක් බන්ධනාගාර කුළුනට නගී

(21-10-2018 08:28)

 

 

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

මෙම රැඳවියන් පිරිස බන්ධනාගායේ කුළුණකට නැග මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

රැඳවියන් 400 දෙනෙකු පමණ මෙම විරෝධතාවයට එක්ව සිටින අතර බන්ධනාගාරයේ ඇතැම් රාජකාරී සඳහා පොලිස් විශේෂ ආරක්ෂක බලකාය යෙදවීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබෙනවා. ඒ අද (21) අලුයම සිටයි. මෙම විරෝධතාවය ආරම්භ කර ඇත්තේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් පිරිසක්. අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් 1200ක් පමණ රඳවා ඇති බවත් සඳහන්.

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සෝදිසි රාජකාරී සඳහා යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බලකාය තමන් නිරුවත් කර සෝදීසි කිරීම් සිදු කරන බව පවසමින් ඊට එරෙහිව රැඳවියන් මෙම විරෝධතාවය සිදුකරන බව සඳහන් කරන බවයි එහි සිටින අප වාර්තාකරු පෙන්වා දෙන්නේ.