Monday, May 20, 2024

General line - 0115112241

කළණ අමුණුපුර ළඟදීම එයි

හේමන්ත කහවලගේ




මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක මෙහෙයුම්වල සිටින ශ‍්‍රී ලංකා භට කණ්ඩායමේ අණදෙන නිලධාරියා ළඟදීම මෙරටට ගෙන්වා ගනු ඇතැයි වාර්තා පළ වනවා. ආරක්ෂක අංශ ආරංචි මාර්ග පැවසුවේ ඔහු ලබන නොවැම්බර් මාසයේදී බොහෝ දුරට මෙරටට පැමිණෙනු ඇති බවයි. 

බටහිර අප‍්‍රිකානු රටක් වන මාලිහි සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටින මෙරට හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 200කට ආසන්නයි. ඔවුන්ට නායකත්වය ලබාදෙන ලූතිතන් කර්නල් කළණ අමුණුපුර යුද සමයේ කැපී පෙනෙන සේවයක් සිදු කළ අයෙක්. යුද්ධයේ අවසන් කාලයේදී පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ 11 වන පාබල සේනාවේ දෙවන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේ ඔහුයි. 

කෙසේ වෙතත් මාලි රාජ්‍යයේ ශ‍්‍රී ලංකා භට කණ්ඩායමේ අණදෙන නිලධාරියා නැවත කැඳවන ලෙසටයි ඉකුත්දා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුණේ. ඒ, මානව හිමිකම් පසුබිම ඇගයීමට ලක් කිරීමෙන් පසුවයි.

දකුණු අප‍්‍රිකාව කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය නම් සංවිධානයක් ශ‍්‍රී ලංකාවේ හමුදා පිළිබඳ ලබාදුන් වාර්තාවක් ඊට හේතු වී ඇති බවටයි වාර්තා වුණේ. මානව හිමිකම් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට අවාසිදායක ප‍්‍රකාශ සිදු කළ යස්මින් සූකා නම් වූ තැනැත්තිය එහි මූලිකත්වය ගෙන කටයුතු කරන බවටද වාර්තා පළ වුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීමට ගරු කරමින් මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වල සිටින ශ‍්‍රී ලංකා භට කණ්ඩායමේ අණදෙන නිලධාරියා මෙරටට කැඳවන බවයි ශ‍්‍රී ලංකා යුද හමුදාව ප‍්‍රකාශ කළේ. මෙරට හමුදා යුද අපරාධවලට සම්බන්ධ වී නොමැති බව යුද හමුදාව තහවුරු කළා.