Monday, May 20, 2024

General line - 0115112241

ඊළාම් සිතියම රැගෙන යෑම සැළසුමකට අනුව සිදුවූවක් බව හෙළිවේ

දිනසේන රතුගමගේ




යාපනයේ ආනේකෝට්ටේ කන්නගි අම්මාන් කෝවිලේ  වාර්ෂික පෙරහැරේදී  ඊළාම් සිතියමක් රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් නව දෙනෙකුට එරෙහිව යාපනය අධිකරණයේ නඩු පැවරීමට පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා.

එම කෝවිලේ වාර්ෂික පෙරහැර පැවති පසුගිය ජූනි මාසයේදී ඊළාම් සිතියමක් විදුලි බුබුලුවලින් සකසා පෙරහැරේ රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා කෝවිලේ භාරකාර මණ්ඩලයේ හා කෝවිලේ තරුණ සංගමයේ පස් දෙනෙකු නම් කොට ඔවුන්ට කොළඹට පැමිණෙන ලෙස පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මගින් දැණුම් දී තිබුණා.

ඔවුන්ගෙන් ලබා ගත් ප්‍රකාශවලට අනුව මේ සිද්ධිය ඉතා සැලසුම් සහගතව සිදු කළ  ක්‍රියාවක් මිස එය අහම්බෙන් සිදු වූ සිදුවීමක් නොවන බව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මගින් තහවුරු කරගෙන තිබෙනවා.

කොළඹට කැඳවා කළ ප්‍රශ්න කිරීමට අනුව මෙම සිද්ධිය සඳහා නව දෙනෙකු සම්බන්ධ බවට පොලිස් ත්‍රස්ත මර්දන ඒකකයට තොරතුරු ලැබී ඇති බවද සඳහන්.

ඉන් දෙදෙනෙකු කෝවිලේ පූජකවරු වන අතර තවත් අයෙකු යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු බවයි වාර්තා වී ඇත්තේ. ඉතිරි හය දෙනා කෝවිල හා සම්බන්ධව පිහිටුවාගෙන ඇති තරුණ හින්දු සංගමයේ සාමාජිකයන්.

මේ පිරිස අතරින් පස් දෙනෙකු කොළඹට පැමිණ පොලිස් ත්‍රස්ත මර්දන ඒකකයට ප්‍රකාශ ලබා දීමෙන් පසුව ඔවුන්ව අත්අඩංගුවට ගනු ඇතැයි යන සැකය මත එම පස් දෙනා යාපනය දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කරමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරණ මෙන් ඉල්ලා තිබුණා.

ඔවුන් යාපනය දිසා අධිකරණයට පෙත්සමක්  ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තමන් වරදක් කොට නොමැති නිසා පොලිසිය විසින් වැරදි චෝදනා ඉදිරිපත් කරමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් බැවින් එම අත්අඩංගුවට ගැනීම වළක්වා නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මේ පෙත්සම සිංහල භාෂාවෙන් තවත් තොරතුරු රැසක් සමග ඉදිරිපත් කොට තිබු නිසා එම පෙත්සම දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කරන ලෙස යාපනය දිසා විනිසුරු කනකරත්නම් කේසවන් නියෝග කොට තිබූ බවයි යාපනය අප වාර්තාකරු පවසන්නේ.