Monday, May 20, 2024

General line - 0115112241

සභාපතිට සුපිරි ගෙයක්..බිරිඳටත් වරදාන ලු.. - වරායේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් නොසන්සුන් 




වරාය ජාතික සේවක සංගමයේ සභාපති උදේනි කළුතන්ත්‍රී ඉවත් කරන ලෙස ඉල්ලා වරාය අධිකාරියේ ජාතික සේවක සංගමයේ සෙසු නිලධාරීන් සහ සාමාජිකයන් පිරිසක් ජාතික සේවක සංගමයෙන් ඉල්ලා සිටීමට සුදානම් වන බව වාර්තා වනවා.

එම සේවක පිරිස් පෙන්වා දෙන්නේ මෙම සභාපතිවරයා සිය බලය අයුතු ලෙස භාවිතා කරමින් ව්‍යාපාරික කටයුතුවල නිරතවන බවයි.

ඒ හේතුවෙන් තම අත්‍යවශ්‍ය සේවක ප්‍රශ්න සම්බන්ධයෙන් නිසි සැළකිල්ලක් නොදක්වන ඔහු, වෙනත් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන බවට ඔවුන් චෝදනා නගනවා.

මේ වනවිට සුපිරි නිවසක් සහ වාහන දෙකක් වරාය අධිකාරියෙන් ලබා ගෙන ඇති මෙම සභාපතිවරයා එක් වාහනයක් තම බිරිඳගේ පරිහරණයට ලබාදී ඇති බව පෙන්වා දෙන සාමාජිකයින් මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කළ යුතු බවයි පෙන්වා දෙන්නේ.

වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙස  අර්ජුන රණතුංග කටයුතු කරද්දී ද වරායේ  කටයුතු අඩපණ කිරීමට උත්සාහ දැරුවේ වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ලෙස ඒ වනවිට කටයුතු කළ උදේනි කළුතන්ත්‍රී බවයි සේවකයන් පෙන්වා දෙන්නේ.

2016 වසරේ ජුනි 14 දින අර්ජුන රණතුංග අමාත්‍යවරයා ඉවත් කළ  යුතු බව පවසමින් අරඹන ලද උපවාසය සඳහා ප්‍රධාන වශයෙන් නායකත්වය දුන්නේ ද උදේනි කළුතන්ත්‍රී බවට එම වරාය සේවකයන් චෝදනා කර තිබෙනවා.

වරාය අධිකාරියට තාවකාලිකව පත්වූ නිල් බලකායේ සාමාජිකයන් 200 දෙනකු සමග අනවශ්‍ය සම්බන්ධතා පවත්වමින් ඔවුන් රැක ගැනීම සඳහා උත්සාහ දැරූ වරාය ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසුව  2015 වසරේ ජනවාරි 12 වන දින ඔවුන් හමුවූ බවද වරාය සේවකයන් පෙන්වා දෙනවා.

එල්ලවන චෝදනා සම්බන්ධයෙන් වරාය ජාතික සේවක සංගමයේ සභාපති උදේනි කළුතන්ත්‍රීගෙන් nethnews.lk විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ එල්ල කර ඇති සියලු චෝදනා අසත්‍ය ඒවා බවයි. සිය සංගමයට නීත්‍යානුකූලව ලැබුණු වාහන දෙක සංගමයේ කටයුතු සඳහා භාවිතා කෙරෙන බවත් සඳහන් කළා.

කෙසේවෙතත් තමාව ඉවත් කිරීමට සාමාජිකයින් කිහිපදෙනෙකුට නොහැකි බවත්. එසේ ඉවත් කිරීමට හැකි වන්නේ ඡන්දයකින් පමණක් බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නා.