Monday, June 3, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රිවරයෙකු වෙත දෙපාර්ශ්වයේම අවධානය

මාධව කුලසූරිය




දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු ‍කරන වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රි ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ උප සභාපති ශිවශක්ති ආනන්දන්ගේ සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් සහ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නියෝජිතයින් පවසනවා.

ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නියෝජිතයින් පැවසුවේ දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ස්වාධීනව පාර්ලිමේන්තුවේ කටයුතු කරන ශිවශක්ති ආනන්දන්ගේ කැමැත්ත ලබා ගැනීම වෙනුවෙන් දෙපාර්ශ්වයේ නියෝජිතයින් තම පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සමඟ සාකච්ඡා කොට ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් ද සාකච්ඡාවක් පවත්වා ඇති බවත් සඳහන්.

ශිවශක්ති ආනන්දන් දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුවද ‍ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමෙන් අනතුරුව හෙතෙම පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

පවතින ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශිවශක්ති ආනන්දන්ගෙන් කළ විමසීමේදී හෙතෙම පැවසුවේ තමන්ගේ කැමැත්ත කුමන පාර්ශ්වයක් වෙත ලබාදීම සුදුසුද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි.

දෙමළ ජනතාවගේ ගැටළු‍ වෙනුවෙන් නිශ්චිත පිළිතුරු ලබාදෙන ‍බවට පොරොන්දුවක් ලබාදෙන පාර්ශ්වය වෙනුවෙන් තම සහයෝගය ලබාදීමට සුදානම් බවත් සඳහන් කළා.